7. 2. 1. 8.
[පචලායන සූත්රය]
[සැවැත්නිදාන යි]
8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ මෘගදාව නම් භේසකලාවනයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබර වැ හුන්නාහු වෙත්. භාග්යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැස්නැණින් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබර වැ හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුටුසේක් ම ය. දැක බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික්කරන්නේ හෝ දික්කළ අතක් වක්කරන්නේ යම්සේ නම්, එසෙයින් ම භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ භෙසකලාවන නම් මුවවෙනෙහි අතුරුදන්වූසේක් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් හමුයෙහි පැණීගියසේක. භාග්යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කරුණ වදාළ සේක:
මුගලන, තෝ නිදිබරින් සැලෙයි නොයි. මුගලන, තෝ නිදන්නෙහි නො යි. වහන්ස, එසේ ය යි.
(1) එහෙයින් මුගලන, තෝ මෙහි ලා යම් යම් සංඥා ඇතිව වසන තොපට ඒ මිද්ධය බැසගනී නම්, ඒ සංඥාව නහමක් මෙනෙහි කරව, ඒ සංඥාව නහමක් බහුල කරව. මුගලන, මෙසේ වාසය කරණ තොපට ඒ මිද්ධය ප්රහීණ වන්නේ ය යන මේ කරුණ විද්යමාන වෙයි.
(2) ඉදින් මෙසේ වසන තොපගේ ඒ මිද්ධය ප්රහීණ නොවේ නම්, මුගලන, තෝ ඉක්බිති යථාශ්රැත වූ යථාපර්ය්යාප්ත වූ ධර්මය සිතින් අනුවිතර්කණය කරව, අනුවිචාරණය කරව, මනසින් අනුප්රේක්ෂණ කරව. මෙසේ වසන තොපගේ ඒ මිද්ධය ප්රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි.
(3) ඉදින් මෙසේ වසන තොපගේ එ මිද්ධය ප්රහීණ නොවේ නම්, මුගලන, එක්බිති තෝ යථාශ්රැත වූ යථාපර්ය්යාප්ත වූ ධර්මය විස්තර විසින් ස්වාධ්යාය (මැනවින් ශබ්ද) කරව. මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ප්රහීණ වන්නේ ය යන තෙල කරුණ ඇත.
(4) මෙසේ වාසය කරණ තාගේ ඒ මිද්ධය ඉදින් ප්රහීණ නොවේ නම්, මෞද්ගල්යායනයෙනි, එක්බිති තෝ දෙකන් සිදුරු හා ගාත්ර අත්ලෙන් පිරිමදුව. මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ප්රහීණ වන්නේ ය යන මෙ කරුණ ඇත.
(5) මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ඉදින් ප්රහීණ නොවේ නම්, මෞද්ගල්යායනයෙනි, එක්බිති තෝ හුනස්නෙන් නැඟී දියෙන් දෙයැස් පිරිමැද දිගුන් අනුවිලෝකන කරව, නැකැත් හා තාරුකරූපයන් බලව. මෙසේ වාසය කරණ තාගේ එ මිද්ධය ප්රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි.
(6) මෙසේ වාසය කරණ තාගේ එ මිද්ධය ඉදින් ප්රහීණ නොවේ නම්, මෞද්ගල්යායනයෙනි, එක්බිති තෝ ආලෝකසංඥාව මෙනෙහි කරව, දිවාසංඥාව ඉටව, දහවල යම්පරිදි වේ ද, රාත්රිය ද එපරිදි ය, රාත්රිය යම් පරිදි වේ නම් දහවල ද එපරිදි වේ යයි මෙසේ විවෘත වූ කෙලෙසුන්ගෙන් නො වෙළුනු සිතින් සප්රභාෂ චිත්තය වඩව. මෙ ලෙසින් වාසය කරණ තොපගේ එ මිද්ධය ප්රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි.
(7) මුගලන, මෙසේ වසන තොපගේ එ මිද්ධය ඉදින් ප්රහීණ නොවේ නම්, තෝ පෙර පසු හැඟුම් ඇතියෙහි අභ්යන්තර ඉන්ද්රියයන්ගෙන් උපලක්ෂිත වූයෙහි බැහැර නොගිය සිතින් චංක්රමණය ඉටන්නෙහි ය. යම් හෙයෙකින් මෙසේ වසන තොපගේ එ මිද්ධය ප්රහීණ වේ නම් එ කරුණ විද්යමාන ය.
ඉදින් මෙසේ වසන තොපට එ මිද්ධය ප්රහීණ නො වේ නම්, මුගලන, ඉක්බිති තෝ දකුණු පාදයෙහි වම් පය මඳක් හැද තබා ස්මෘතිමත් ව සම්ප්රජන්ය ඇත්තෙහි උත්තානසංඥා මෙනෙහි කොට දකුණැළයෙන් ශය්යා කරව. මුගලන, ප්රබුද්ධ වු ද තා විසින් වහා නැගීසිටිය යුතු: ශය්යාසුඛයෙහි, ස්පර්ශසුඛයෙහි, මිද්ධසුඛයෙහි, අනුයුක්තයෙම් නො වෙසෙමි’ යි. මෞද්ගල්යායනයෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු යි.