7. 2. 1. 5.
[අරක්ඛෙය්ය සූත්රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, තථාගතයන් වහන්සේගේ මෙ අරක්ෂණීය (නොරැක්කයුතු) ධර්ම සතරෙකි. තුන් කරුණෙකිනුදු තථාගතයෝ අනුපවද්යයෝ (වැරදි නො කියයුත්තෝ) වෙත්.
තථාගතයන් වහන්සේගේ අරක්ෂණීය කරුණු සතර කවරේ ය යත්:
(1) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ කාය සමාචාර ඇතියහ. “මාගේ මේ කාදුසිරිත අන්යයා නො දනීවා” යි යම් කාදුසිරිතක් තථාගතයෝ රක්නාහු නම් එබඳු කායදුශ්චරිතයෙක් තථාගතයනට නැත. (2) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ වාක්සමාචාර ඇතියහ. “මාගේ මේ (වාග්දුශ්චරිතය) අන්යයා නහමක් දනීව” යි යම් වාග්දුශ්චරිතයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු වාග්දුශ්චරිතයෙක් තථාගතයනට නැත. (3) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ මනෝසමාචාර ඇතියහ. “මාගේ මේ මනෝදුශ්චරිතය අන්යයා නහමක් දනීව” යි යම් මනෝදුශ්චරිතයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු මනෝදුශ්චරිතයෙක් තථාගතයනට නැත. (4) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධාජීව ඇතියහ. “මාගේ මේ මිථ්යාජීවය අන්යයා නහමක් දනීවා” යි යම් මිථ්යාජීවයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු මිථ්යාජීවයෙක් තථාගතයනට නැත.
මේ තථාගතයන් වහන්සේගේ අරක්ෂණීය කරුණු සතර වෙත්.
කවර කරුණු තුණෙකින් අනුපවද්යයෝ වෙති යත්:
(1) මහණෙනි, තථාගතයෝ ස්වාඛ්යාතධර්ම ඇත්තෝ වෙති. මහණෙනි, එහි ලා “මෙකරුණිනුදු මුඹ ස්වාඛ්යාතධර්ම ඇතියහු නො වෙති” යි ශ්රමණයෙක් වේව යි බ්රාහ්මණයෙක් වේව යි දෙවියෙක් වේව යි මාරයෙක් වේව යි බ්රහ්මයෙක් වේව යි ලොව්හි අන් කිසිවෙක් වේව යි සකාරණ ව එකැතින් පෙරළා මට චෝදනා කරන්නේ ය යන තෙල නිමිත්ත (කරුණ), මහණෙනි, මම බුදුඇසින් නො දක්මි. මහණෙනි, තෙල නිමිත්ත නො දක්නෙම් ක්ෂේමප්රාප්තයෙම් අභයප්රාප්තයෙම් විශාරදභාවයට පැමිණියෙම් වෙසෙමි.
(2) මහණෙනි, යම් පරිදි පිළිපන් මාගේ සව්වෝ ආස්රවක්ෂයෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙත් නම්, මා විසින් සව්වනට නිර්වණගාමිනීප්රතිපද් එබඳු මැනැවින් පණවනලදු. එහි ලා එකැතින් මහණෙක් වේව යි, බමුණෙක් වේව යි, දෙවියෙක් වේව යි, මරෙක් වේව යි, බඹෙක් වේව යි, ලොව්හි අන් කිසිවෙක් වේව යි මට සහධාර්මික කොට පෙරළා චෝදනා කරන්නේ “යම් පරිද්දෙකින් පිළිපන් තථාගතශ්රාවකයෝ ආස්රවක්ෂයෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙත් නම්, එපරිදි මුඹ විසින් ශ්රාවකයනට නිර්වණගාමිනීප්රතිපද් මෙ කරුණින් ද මනාකොට නො පණවන ලදු ය”යි කියන්නේ නම්, මහණෙනි, තෙල නිමිත්ත මම බුදු ඇසින් නො දක්මි. මහණෙනි, මෙ නිමිත්ත ද නො දක්නෙම් මම ක්ෂේමප්රාප්තයෙම් අභයප්රාප්තයෙම් වෛශාරද්යප්රාප්තයෙම් වෙසෙමි.
මහණෙනි, මාගේ අනේකශතශ්රාවක පිරිස්හු ඉහාත්මයෙහි ම ආස්රවක්ෂයෙන් අනාස්රව වූ චිත්තවිමුක්ති හා ප්රඥාවිමුක්ති තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙත්. එහි ලා “මෙ කරුණෙනුදු මුඹගේ අනේකශත ශ්රාවක පිරිස්හු ආස්රවක්ෂයෙන් අනාස්රව වූ චිත්තවිමුක්ති හා ප්රඥාවිමුක්ති තුමූ ඉහාත්මයෙහි ම විහිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ නො වෙසෙත්” යයි ඒකාන්තයෙන් මට මහණෙක් වේව යි, බමුණෙක් වේව යි, දෙවියෙක් වේව යි, මරෙක් වේව යි, බඹෙක් වේව යි, ලොව්හි අන් කිසිවෙක් වේව යි කරුණු සහිතව ප්රතිචෝදනා කරන්නේ ය යන තෙල නිමිත්ත මම නො දක්මි. මහණෙනි, තෙල නිමිත්ත නො දක්නෙම් මම ක්ෂේමප්රාප්තයෙම් අභයප්රාප්තයෙම් වෛශාරද්යප්රාප්තයෙම් වාසය කරමි.
මෙ කරුණු තුණෙන් තථාගතයෝ අනුපවද්යයෝ වෙත්.
මහණෙනි, තථාගතයන්ගේ මේ අරක්ෂණීය කරුණු සතර යි. මෙ කරුණු තුණෙන් තථාගතයෝ අනුපවද්ය වෙති යි.
7. 2. 1. 6.
[කිම්බිල සූත්රය]
6. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ කිම්බිලා නගරාසන්නයෙහි වේළුවනයෙහි වැඩ වසනසේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වේ නම්, ඒ හේතු කවරේ ද, එ ප්රත්යය කවරේදැ? යි.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි භික්ෂූහු භික්ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු ප්රතිශ්රය (ගුරු කොට සැලකුම්) නැත්තාහු වාස කරති. ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු ප්රතිශ්රය නැත්තාහු වාස කරත්. සඟුන් කෙරෙහි ගෞරව නැත්තාහු ප්රතිශ්රය රහිත වූවාහු වෙසෙත්. ශික්ෂායෙහි ගෞරව නැත්තාහු ප්රතිශ්රය නැත්තාහු වසත්. සමාධියෙහි ගෞරව නැත්තාහු ප්රතිශ්රය නැත්තාහු වාස කරති. අප්රමාදයෙහි ගෞරව නැත්තාහු ප්රතිශ්රය නැත්තාහු වාස කරත්. පිළිසඳරෙහි ගෞරව නැත්තාහු ප්රතිශ්රය නැත්තාහු වාස කරති.
කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථික නො වේ නම්, මෙ එයට හේතු ය, මෙ එයට ප්රත්යය යි.
වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ නම්, ඒ හේතු කවරේ දැයි.