7. 2. 1. 6.
[කිම්බිල සූත්‍රය]
6. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගරාසන්නයෙහි වේළුවනයෙහි වැඩ වසනසේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම්, ඒ හේතු කවරේ ද, එ ප්‍රත්‍යය කවරේදැ? යි.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය (ගුරු කොට සැලකුම්) නැත්තාහු වාස කරති. ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරත්. සඟුන් කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය රහිත වූවාහු වෙසෙත්. ශික්‍ෂායෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වසත්. සමාධියෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරති. අප්‍රමාදයෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරත්. පිළිසඳරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරති.
කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථික නො වේ නම්, මෙ එයට හේතු ය, මෙ එයට ප්‍රත්‍යය යි.
වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම්, ඒ හේතු කවරේ දැයි.
කිම්බිලයෙනි, තථාගතයන් පිරිනිවි කල්හි මෙ සස්නෙහි මහණ මෙහෙණ උවසු උවැසියෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ධර්‍මයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. සඟුන් කෙරෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ශික්‍ෂායෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. සමාධියෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. අප්‍රමාදයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ප්‍රතිසන්‍ථාරයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ.
කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථික වේ නම්, මෙ එ හේතු යි, මෙ එ ප්‍රත්‍යය යි.
7. 2. 1. 7.
[සත්තධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ නො බෝ කලෙකින් ම ඉහාත්මයෙහි ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වු චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වෙසෙන්නේ ය. කවර සතෙකින යත්:
මහණෙනි. මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල්වත් වෙයි, බහුශ්‍රුත වෙයි, ප්‍රතිසංලීන වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ස්මෘතිමත් වෙයි, ප්‍රඥාවත් වෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ නො බෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වු චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වාසය කරන්නේ යයි.
7. 2. 1. 8.
[පචලායන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ මෘගදාව නම් භේසකලාවනයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබර වැ හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැස්නැණින් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබර වැ හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුටුසේක් ම ය. දැක බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික්කරන්නේ හෝ දික්කළ අතක් වක්කරන්නේ යම්සේ නම්, එසෙයින් ම භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ භෙසකලාවන නම් මුවවෙනෙහි අතුරුදන්වූසේක් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් හමුයෙහි පැණීගියසේක. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කරුණ වදාළ සේක: