7. 2. 1. 3.
[තිස්සබ්රහ්ම සූත්රය]
3. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එකල්හි දෙවියෝ දෙදෙනෙක් රාත්රිය බෙහෙවින් ඉක්මගිය කල්හි හැම ගිජුකුළුපව් පියෙස බබුළුවා මනහර වර්ණ ඇත්තාහු භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටගත්හ. එකත්පස්හි සිටි එක් දෙවියෙක් භාග්යවතුන් වහන්සේට තෙල සැළකළේය:
“වහන්ස, තෙල (මහාප්රජාපතිය ප්රමුඛ) භික්ෂුණීහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ”යි. අනෙක් දෙවි භාග්යවතුන් වහන්සේට තෙල සැළකළේ ය: “වහන්ස, තෙල මෙහෙණහු ශේෂොපාදාන රහිතව මිදුනහ” යි. එ දෙවිහු මෙය කීහ. ශාස්තෘන් වහන්සේ සමනුඥ වූ සේක. එක්බිති එ දෙවියෝ දෙදෙන “භාග්යවතුන් වහන්සේ සමනුඥයහ” යි භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම නො පැණී ගියහ.
එක්බිති භාග්යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්ෂූන් ඇමැතූ සේක. “මහණෙනි, මෙ ඉකුත් රෑහි මනහර රූ ඇති දේවතාවෝ දෙදෙනෙක් හැම ගිජුකුළුපව් පියෙස එකලුකොට බබුළුවා මා කරා එළැඹියහ. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියහ. මහණෙනි, එකත්පස්හි සිටි එක් දෙවියෙක් මට තෙල කී ය:
“වහන්ස, තෙල භික්ෂුණීහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ” යි. අනෙක් දෙවි ද මට තෙල සැළකළේ ය: “වහන්ස, තෙල මෙහෙණහු අනුපාදිශේෂ වූවාහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ” යි. මහණෙනි, එ දෙවිහු මෙය සැළකළහ. මෙ සැළකොට මා වැඳ එහි ම අතුරුදන් ව ගියහයි.
එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරහු භාග්යවතුන් වහන්සේගේ නුදුරෙහි හුන්නාහු වෙති. එක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල සිත විය:
“කවර නම් දෙවි කෙනකුන්ට සෝපාදිසේස පුඟුල් කෙරෙහි හෝ සෝපාදිසේස පුඟුලැයි ද, අනුපාදිසේස පුඟුල්කෙරෙහි හෝ අනුපාදිසේස පුඟුලැයි ද මෙබඳු ඥානයෙක් වේ දැ” යි.
එසමයෙහි තිස්ස නම් මහණ කලුරිය කළ නොබෝකල් ඇතියේ එක්තරා බ්රහ්මකායෙක්හි උපන්නේ වෙයි. එහි දු ඔහු (සෙසු දෙවියෝ) මෙසෙයින් දනිත්: “තිස්ස බ්රහ්ම තෙම මහත් ඍද්ධි ඇත්තේ ය. මහානුභාව ඇතියේ ය” යි.
එක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් මැදුම් පිරිමියෙක් හැකුළු අතක් දිගුකරන්නේ හෝ දිගුකළ අතක් හකුළුවන්නේ හෝ නම් එසෙයින් ගිජ්ඣකූටපර්වතයෙහි අතුරුදන් වූසේක් එ බඹලොව්හි පැණීගියහ. තිස්ස බ්රහ්ම දුරදී මැ එන ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුට. දැක ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කීය:
මාරිස මෞද්ගල්යායනයෙනි, මෙහි වඩිනු මැනවැ, නිදුකානෙනි, මෞද්ගල්යායනයයෙනි, (මුඹට) ස්වාගත යැ. නිදුකානෙනි, මෞද්ගල්යායනයෙනි, මෙහි වඩිනු සඳහා යම්බඳු ආකාරයෙක් වී නම්, මෙ පර්ය්යාය බොහෝ කලෙකින් කළහ. මාරිස මෞද්ගල්යායනයෙනි, මේ අස්න පනවන ලද, වැඩහිඳිනු මැනවැ’යි. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පනවන ලද අස්නෙහි වැඩහුන්හ. තිස්ස බ්රහ්ම ද ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් තිස්ස බ්රහ්මහට ආයුෂ්මත් මහමුගලන් තෙරහු තෙල කරුණ වදාළහ:
තිස්සයෙනි, කවර නම් දෙවියනට සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා අනුපාදිසේස යයි කියා ද මෙබඳු ඥානය වන්නේ දැ? යි.
නිදුක මෞද්ගල්යායනයෙනි, බ්රහ්මකායික දෙවියන්ට (පඤ්චස්කන්ධය තිබියදී කෙලෙසුන් කෙරෙන් පිරිනිවියහු) කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා (ස්කන්ධපරිනිර්වාණයෙන් පිරිනිවියහු) කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ ය.
තිස්සයෙනි, හැම බ්රහ්මකායික දෙවියන්ට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ දැ? යි.
නිදුක මෞද්ගල්යායනයෙනි, හැම බ්රහ්මකායික දෙවියන්ට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය නො මැ වන්නේ ය. නිදුක මුගලන යම් බ්රහ්මකායික දෙවිකෙනෙක් බ්රහ්මයන් සතු ආයුසින් සන්තුෂ්ට වෙත් නම්, බ්රහ්මවර්ණයෙන් සන්තුෂ්ට වෙත් නම්, බ්රහ්මසුඛයෙන් සන්තුෂ්ට වෙත් නම්, බ්රහ්මයශසින් සතුටු වෙත් නම්, බ්රහ්මආධිපත්යයෙන් සතුටු වෙත් නම්, මත්තෙහිදු නිඃසරණය යථාභූතයෙන් නො දන්නාහු නම්, ඔවුනට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය නො වන්නේ ය.
නිදුක මුගලන, යම් බ්රහ්මකායික දෙවිකෙනෙක් බ්රහ්මආයුෂයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්රහ්ම වර්ණයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්රහ්මසුඛයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්රහ්මයශසින් අසන්තුෂ්ට වෙත් නම්, බ්රහ්මආධිපත්යයෙන් අසන්තුෂ්ට වෙත් නම්, එයට මතුයෙහිදු ඇති නිඃසරණය යථා භූත කොට දන්නාහු ද, එ දෙවියනට සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යි ද, අනුපාදිසේසයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ යයි.
නිදුක මුගලන, මෙ සසුන්හි මහණෙක් උභතොභාගවිමුක්ත වෙයි. දෙවියෝ එබඳු වූ ඔහු මෙසේ හඳුනති: “මේ ආයුෂ්මත් උභතොභාගවිමුක්ත වෙයි. යම්තාක් ඔහුගේ කය සිටුනේ ද ඒතාක් දෙව්මිනිස්සු ඔහු දක්නාහ. කායයාගේ භේදයෙන් දෙව්මිනිස්සු ඔහු නො දක්නාහ” යි. නිදුක මුගලන, මෙසේත් සඋපාදිසේස පුඟුල් නිමිතිකොට සඋපාදිසේස පුඟුලැයි ද අනුපාදිසේස පුඟුල් නිමිතිකොට අනුපාදිසේස පුඟුලැයි ද දෙවියනට මෙබඳු ඥානය වෙයි.