7. 2. 1. 2.
[පුරිසගති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, සප්ත පුරුෂ (පුරුෂයාගේ ඥාන) ගති හා අප්‍රත්‍යය නිර්‍වාණය හා දෙසන්නෙමි. එ අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’ යි. වහන්ස, එසේ ය යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දේශනාව වදාළහ.
මහණෙනි, පුරුෂයාගේ සප්ත ඥානගතීහු කවරහ යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: ‘මට අතීතභවයෙහි නිර්‍වර්‍තක කර්‍මයෙක් නොවී නම්, මට වර්‍තමානයෙහි මෙ අත්බැව් නො වන්නේ ය. මෙ අත්බැව්හි දු මට අනාගත භවනිර්‍වර්‍තක කර්‍ම නො වන්නේ නම් අනායෙහිදු මට ආත්මභාවයෙක් නො වන්නේ ය. යමෙක් ඇත් ද, යමෙක් පාළ වී ද, එ ප්‍රත්‍යුත‍්පන්නස්කන්‍ධය ‍(ඡන්‍දරාගප්‍රහාණයෙන්) හැරලමි’ යි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීත පඤ්චස්කන්‍ධභවයෙහි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො ඇලෙයි. අනාගත පඤ්චස්කන්‍ධභවයෙහි දු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්‍වාණපදය ඇතැ’ යි විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් මනාකොට දක්නේ ය. (ඇතැම් කෙලෙසුන් නො පැහු බැවින්) ඔහුගේ එ හැම නිවන් පිය ද සර්‍වාකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වේ. ඔහුගේ මානානුසය ද සර්‍වාකාරයෙන් ම ප්‍රහීණ නො වේ. සර්‍වාකාරයෙන් ම භවරාගානුසය ප්‍රහීණ නො වේ. සර්‍වාකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ නො වෙයි. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
මහණෙනි, යම්පරිදි දවසක් මුළුල්ලෙහි තැවුනු යකබලක් තළනු ලබත් ම පතුරු උපදවා නිවෙන්නේ යම්සේ ද, -
මහණෙනි, එපරිද්දෙන් ම මෙසෙයින් පිළිපන්නේ වෙයි: අතීත භවයෙහි උපන් කර්‍මයෙක් නොවී නම්, දැන් මාගේ මේ ආත්මභාවය නො වන්නේ ය. මෙකල්හි මාගේ කර්‍මයෙක් නො වේ නම්, අනාගතාත්මභාවයෙක් නො වන්නේ ය. යම් ප්‍රත්‍යුපන්න පඤ්චස්කන්‍ධයෙක් ඇත් නම්, යම් වර්‍තමාන පඤ්චස්කන්‍ධයෙක් පාළවී නම්, එය (ඡන්‍දරාග ප්‍රහාණයෙන්) දුරලමි යි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීත පඤ්චස්කන්‍ධයෙහි නො ඇලෙයි, අනාගත පඤ්චස්කන්‍ධයෙහි දු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත වූ නිර්‍වාණපදය ඇතැයි විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් මොනොවට දක්නේ ය. ඔහු විසින් එ ශාන්ත නිර්‍වාණපදයත් සර්‍වාකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වෙයි. ඔහුට සර්‍වාකාරයෙන් ම මානානුශය ප්‍රහීණ නො වෙයි. සර්‍වප්‍රකාරයෙන්ම භවරාගානුසය ප්‍රහීණ නො වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ නො වෙයි. හේ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
(2) තවද මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම් වර්‍තමාන පඤ්චස්කන්‍ධය නොවන්නේ ය. මෙ කල්හි මට අනාගතකර්‍මභවයෙක් නො වේ නම්, මාගේ අනාගත පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත විපාකභවය නො වන්නේ ය. යම් වර්‍තමානස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමානස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී ද, එය (ඡන්‍දරාගප්‍රහාණයෙන්) දුරලමි යි විදර්‍ශනා උපේක්‍ෂාව ලබයි. හෙ අතීත කර්‍මභවයෙහි නො ඇලෙයි. අනාගත භවයෙහිදු නො ඇලෙයි. මතුයෙහි ශාන්ත වූ නිර්‍වාණපදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. ඔහු විසින් එ ශාන්තනිර්‍වාණපදය සර්‍වප්‍රකාරයෙන් ම සාක්‍ෂාත් නො කෙළේ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම ඔහුගේ මානානුශය අප්‍රහීණ වෙයි. ඔහුගේ භවරාගානුශය සර්‍වප්‍රකාරයෙන් ම අප්‍රහීණ වෙයි. ඔහුගේ අවිද්‍යානුශය සර්‍වප්‍රකාරයෙන් ම අප්‍රහීණ වෙයි. හේ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.