7. 2. 1. 11.
[කොධන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, වෛරීන්ට කාන්ත වූ වෛරීන්ට අර්‍ත්‍ථකරණ මෙ සත් දහම් කෙනෙක් කිපෙනසුලු මාගම කරා හෝ පුරුෂයා කරා හෝ පෙරළා එති. කවර සතෙක යත්:
(1) මහණෙනි, මෙ ලොව්හි සතුරා (තමාගේ) සතුරාහට මෙසේ කැමැති වෙයි: ‘මේ තෙම දුර්වර්‍ණ වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරා සතුරාගේ වර්‍ණවද්භාවයෙන් සතුටු නො වෙයි. මහණෙනි, මේ පුරුෂ කිපෙනසුලු ක්‍රෝධයෙන් මඩනාලද ක්‍රෝධානුගත වූයේ වෙයි. හේ මැනැවින් ස්නාන කෙළේ මැනැවින් ගැල්වූ අලෙව් ඇතියේ අන්දම් තැබූ කෙහෙමස් ඇතියේ හඳනා ලද හෙළපිළී ඇතියේ වී නමුදු, වැලි හේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ දුර්වර්‍ණ මැ වෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ පළමු කරුණ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙයි.
(2) තවද මහණෙනි, සතුරෙක් (සිය) සතුරුහට මෙසේ කැමැති වෙයි. ‘මෙ තෙම දුකසේ හෝනේ වේ නම් මැනැවැ’ යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරු සතුරාගේ සුඛශය්‍යායෙන් සතුටු නො වෙයි. මේ පුරුෂ තෙම කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ වෙයි. හෙ වැලිත් කොඳුපලස් අතුළ මොළොක් සුදුඑළුලොම් ඇතිරි අතුළ ඝනපුප්ලොම් ඇතිරි අතුළ උතුම් කෙසෙල්මුවසමින් ඇතිරි අතුළ උඩුවියන් සහිත දෙපස්හි තැබූ රත්කන්වයින් ඇති පලනෙක්හි හෝනේ නමුදු හෙ ක්‍රෝධයෙන් මැඩුනේ දුකසේ ම හෝනේ වෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ දෙවන කරුණ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙයි.
(3) තවද මහණෙනි, සතුරා සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම බොහෝ ධන ඇතියේ නො වේ නම් මැනැවැ’ යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරා සතුරකුගේ ප්‍රචුරාර්‍ත්‍ථභාවයෙන් සතුටු නො වෙයි. මහණෙනි, මේ පුරුෂපුද්ගල ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ අනර්‍ත්‍ථය ද ගෙණ ‘මා විසින් අර්‍ත්‍ථය ගන්නා ලදැ’යි හඟනේ ය. අර්‍ත්‍ථය ද ගෙණ ‘මා විසින් අනර්‍ත්‍ථය ගන්නා ලදැ’යි හඟනේ ය. ක්‍රෝධාභිභූත වූ ඔහු විසින් පරස්පර ප්‍රත්‍යනීක වූ ගන්නාලද මෙ ධර්‍මයෝ දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටෙන්නාහ. මහණෙනි, සතුරාට කාන්ත වූ සතුරුකරණ වූ මෙ තෙවන කරුණ කිපෙනසුලු ස්ත්‍රියට වේවයි පුරුෂයාට වේවයි පැමිණෙයි.
(4) තවද මහණෙනි, සතුරෙක් සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම භෝග ඇතියේ නො වේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරුතෙම සතුරාගේ භෝගවත්භාවයෙන් නො සතුටු වෙයි. මහණෙනි, කිපෙනසුලු ක්‍රෝධයෙන් මැඩුනු ක්‍රෝධවශයට ගිය පුරුෂපුද්ගලයාගේ යම් එ භෝගයෝ වෙත් නම් උත්‍ථානවීර්‍ය්‍යයෙන් අධිගත වූවාහු බාහුබලයෙන් රැස් කරණ ලද්දාහු ඩහවගුරුවා උපයාලූවාහු දැහැමි වූවාහු දැහැමින් ලද්දාහු වෙත් නම්, ක්‍රෝධාභිභූත වූ ඔහුගේ එයද රජහු රාජභාණ්ඩාගාරයට පමුණුවත්. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සතරවන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට හෝ පුරුෂයාට හෝ පැමිණේ.
(5) තවද මහණෙනි, සතුරෙක් සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම යශස් ඇතියේ නො වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ යශෝවද්භාවයෙන් නො සතුටු වෙයි. මහණෙනි, මේ පුරුෂපුද්ගල කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ වෙයි. අප්‍රමාදයෙන් ඔහු විසින් ලැබගත් යම් යශසෙක් වේ නම් ක්‍රෝධාභිභූත වූ හෙ එයිනුදු පිරිහෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ පස්වන කරුණ ක්‍රෝධයෙන් යුත් ස්ත්‍රියට වේවයි පුරුෂයාට වේවයි පැමිණේ.
(6) තවද මහණෙනි, සතුරෙක් සතුරකුට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම මිතුරන් ඇතියේ නො වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ මිත්‍රවද්භාවයෙන් සතුටු නො වේ. මහණෙනි, මේ පුරුෂපුද්ගල කිපෙනසුල්ලේ ක්‍රෝධයෙන් මැඩුනේ ක්‍රෝධවශයට ගියේ වෙයි. ඔහුට යම් ඒ මිත්‍රාමාත්‍ය කෙනෙක් සාලේ නෑ කෙනෙක් වෙත් නම් ඔහු ද, ක්‍රෝධයෙන් මැඩුනු ඔහු දුරින් ම හැරලත්. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සවන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට වේවයි පුරුෂයකුට වේවයි පැමිණේ.
(7) තවද මහණෙනි, සතුරෙක් සතුරකුට මෙසේ කැමැති වෙයි. ‘මෙතෙම කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණේවා’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ සුගති ගමනින් සතුටු නො වෙයි. මහණෙනි, මෙ පුරුෂපුද්ගල කිපෙනසුල්ලේ ක්‍රෝධයෙන් මැඩුනේ ක්‍රෝධවශයට පැමිණියේ කයින් දුසිරිත් කෙරෙයි, වචනයෙන් දුසිරිත් කෙරෙයි, මනසින් දුසිරිත් කෙරෙයි. හෙ ක්‍රෝධාභිභූත ව කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට මනසින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණේ. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සත්වන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට හෝ පුරුෂයාට පැමිණෙයි.