මහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියාව ස්ත්‍රිය පිළිබඳ ආකල්පය ස්ත්‍රියගේ මානවිධාව ස්ත්‍රියගේ ඡන්‍දය ස්ත්‍රීස්වරය ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්ප පුරුෂවිධා පුරුෂ ඡන්‍ද පුරුෂස්වර පුරුෂාලඞ්කාර මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පිරිමි සංයොග කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙකුත් වේ නම්, එය ද කැමැති වෙයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අභිරත වූ සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු නම් වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නො ඉක්මවයි.
මහණෙනි, පුරුෂයා ආධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය, පුරුෂක්‍රියාව, පුරුෂාකල්පය, පුරුෂමානවිධාව, පූරුෂාධ්‍යාශයච්ඡන්‍දය, පුරුෂස්වරය (ශබ්දය), පුරුෂාලඞ්කාරය මෙනෙහි කරයි. හේ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. හේ එහි රැඳුනේ එහි අභිරත වූයේ බාහිර ස්ත්‍රීඉන්‍ද්‍රිය, ස්ත්‍රීක්‍රියා, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රීවිධාව, ස්ත්‍රීච්ඡන්‍දය, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි කරයි. හේ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. හේ එහි රක්ත වූයේ එහි අභිරත වූයේ බාහිර (ස්ත්‍රී සංයෝගය කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයෙන් ඔහට යම්බඳු සුවසොම්නසෙක් වේ නම්, එ ද කැමැති වෙයි. මහණෙනි, පුරුෂත්‍වයෙහි අභිරත වු, සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි සංයෝගයට ගියාහු නම් වෙත්. මහණෙනි, මෙසේ පුරුෂ පුරුෂභාවයට නො ඉක්මවයි.
මහණෙනි, මෙසෙයින් සංයෝගය වෙයි.
මහණෙනි, කෙසේ නම් විසංයෝගය වේ ය යත්:
මහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියා, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රී විධාව, ස්ත්‍රීච්ඡන්‍දය, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලඞ්කාර මෙනෙහි නො කරයි. ඕ එහි නො රැඳෙයි. එහි අභිරමණ නො කරයි. ඕ එහි රක්ත නො වූවා එහි අභිරත නො වූවා බැහැරි පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂවිධාව, පුරුෂච්ඡන්‍දය, පුරුෂශබ්දය, පුරුෂාලඞ්කාරය මෙනෙහි නො කරයි. ඕ එහි නො රැඳෙයි. එහි අභිරමණය නො කරයි. ඕ එහි නො රැඳුනී. එහි අනභිරත වූවා බාහිර සංයෝගය නො කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙක් වේ නම් එය ද නො පතයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අනභිරත වු සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි විසංයෝගයට ගියහ. මහණෙනි, මෙ සෙයින් ස්ත්‍රී ස්ත්‍රී භාවයට ඉක්මවයි.
මහණෙනි, පුරුෂයා ආධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂවිධාව පුරුෂච්ඡන්‍දය පුරුෂස්වරය පුරුෂාලඞ්කාරය මෙනෙහි නො කරයි. හෙ එහි නො රැඳෙයි. එහි අභිරමණය නො කරයි. හෙ එහි නො රැඳියේ එහි අභිරත නො වූයේ ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියා ස්ත්‍රී ආකල්පය ස්ත්‍රී විධාව ස්ත්‍රීච්ඡන්‍දය ස්ත්‍රීස්වරය ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි නො කරයි. හෙ එහි නො රැඳෙයි. එහි අභිරමණ නො කෙරෙයි. හෙ එහි නො රැඳියේ එහි අනභිරත වූයේ බාහිර සංයෝගය නො පතයි. මහණෙනි, පුරුෂභාවයෙහි අනභිරත වූ සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි විසංයෝගයට ගියහ. මහණෙනි, මෙසෙයින් පුරුෂයා පුරුෂත්‍වය ඉක්මයෙයි.
මහණෙනි, මෙසෙයින් විසංයෝගය වෙයි.
මහණෙනි, මෙ සංයෝගවිසංයෝග නම් ධර්‍මපර්‍ය්‍යාය යි.