7. 1. 5. 7.
[සත්තමෙථුන සූත්රය]
[සැවැත්නිදාන යි]
50. එකල්හි ජානුස්සෝණී බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය ... භාග්යවතුන් වහන්සේට තෙල කරුණ කී ය:
ශ්රමණ භවද් ගෞතමයන් වහන්සේත් ‘බ්රහ්මචාරියෙක්මි’යි ප්රතිඥා කරන්නාහු දැ?යි.
බ්රාහ්මණය, යම් මැ පුඟුලකු ගෙණ මනාකොට කියනුයෙක් “අඛණ්ඩ වු අච්ඡිද්රවූ අශබල වූ අකල්මාෂ වූ පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්රහ්මචර්ය්ය පුරන්නේ ය”යි කියන්නේ නම් බ්රාහ්මණය, මනාකොට කියනුයේ තෙල කාරණය මා ගෙණ ම කියන්නේ ය. බ්රාහ්මණය මම මැ නොකඩ වූ නො සිදුරු වූ අශබල වූ අකල්මාෂ වූ පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්රහ්මචර්ය්ය පුරමි යි.
භවද් ගෞතමයන් වහන්ස, බ්රහ්මචර්ය්යයාගේ ඛණ්ඩ ඡිද්ර ශබල (කබර) කල්මාෂ (පුල්ලි) කවරේ දැ යි?
(1) බ්රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මනාකොට බ්රහ්මචාරීයෙමි’යි පිළිණ කරන්නේ මාගමක් හා සමග ද්වයංද්වයසමාපත්තියට නො ම පැමිණෙන්නේ ය. වැලිදු මාගමක විසින් ඇඟඉළුම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන ඉවසන්නේ ය. හේ එය ආස්වාද කරන්නේ ය. එය කැමැති වන්නේ ය. එයින් සතුටට පත් වන්නේ ය.
බ්රාහ්මණය, මෙ ද බ්රහ්මචර්ය්යයාගේ ඛණ්ඩ ඡින්ද්ර ශබල කල්මාෂ වෙයි. බ්රාහ්මණය, මෙ තෙම මෛථුනසංයෝගයෙන් සංයුක්ත වූයේ අපිරිසිදු බඹසර පුරන්නේ යයි ද ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ ය යි ද සසරදුකින් නො මිදේ යයි ද කියනු ලැබේ.
(2) තව ද බ්රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් මහණෙක් වේවයි බමුණෙක් වේවයි ‘මනාකොට බ්රහ්මචාරීමි’යි ප්රතිඥා කරන්නේ මාගමක හා සමග ද්වයංද්වයසමාපත්තියට නො ම සමවදනේ ය. මාගමක විසින් සිරිරු ඉලීම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන නො ද ඉවසන්නේ ය. වැලිදු මාගමක හා සමග සිනා කථායෙන් සෙයි, ක්රීඩා කෙරෙයි. මහසිනා කෙරෙයි ...
(3) මාගමක හා සමග නො ද සිනාබසින් සෙයි, ක්රීඩා නො කෙරෙයි, මහ හසිතයෙන් නො සෙයි. වැලිදු සියැසින් මාගම්හුගේ ඇස පිළිවිද දක්නේ ය, බලන්නේ ය ...
(4) මාගම්හුගේ ඇස තම ඇසින් නො ද පිළිවිද දක්නේ ය. නො බලන්නේ ය. වැලිත් බිතින් පිටත්හි වේවයි පවුරින් පිටත්හි වේවයි සෙන්නා වූ හෝ බණන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය අසයි ...
(5) බිතින් මුවායෙහි වේවයි පවුරින් මුවායෙහි වේවයි සෙන්නා වු හෝ බණන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය නො ද අසයි. වැලිත් මාගමක හා සමඟ ඔහු විසින් පෙර කළ යම් හසිත ලපිත කීළිතයෝ වෙත් නම් එ හැම අනුස්මරණ කෙරෙයි ...
(6) ඔහු විසින් පෙර මාගමක හා සමඟ කළ යම් හසිත - ලපිත - කීළිතයෝ වෙත් නම් ඔවුන් නො ද අනුස්මරණය කෙරෙයි. වැලිත් පස්කම් ගුණෙන් සමර්පිත වූ සමන්වාගත වූ පරිචරණය කරණු ලබන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දක්නේ ය ...
(7) පස්කම් ගුණෙන් සමර්පිත වූ සමන්වාගත වූ පරිචරණය කරණු ලබන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ නො දක්නේ ය. නො ලබන්නේ ය. වැලිත් “මම් මෙ ශීලයෙන් හෝ ව්රතයෙන් හෝ තවුස්දමින් හෝ බඹසරින් ප්රකට දෙවියෙකිම් හෝ අප්රකට දෙවියෙකිම් හෝ වෙමි”යි අන්යතර දේවනිකායක් පතා බ්රහ්මචර්ය්ය පුරයි. හෙ එය ආස්වාද විසින් විඳියි. එය පතයි. එයින් ම සෑහීමට පැමිණෙයි.
බ්රාහ්මණය, මෙ ද බ්රහ්මචර්ය්යයාගේ ඛණ්ඩ ද, ඡිද්ර ද, ශබල ද, කල්මාෂ ද වෙයි.
බ්රාහ්මණය, මෙතෙම අපරිශුද්ධ බ්රහ්මචර්ය්යය පුරන්නේ යයි ද මෛථුනසංයෝගයෙන් සංයුක්ත යයි ද ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ යයි කියනු ලැබේ. වර්ත්තදුක්ඛයෙන් නො මිදේ යයි කියමි.
බ්රාහ්මණය, මම යම් තාක් මෙ සප්ත මෛථුන සංයෝගයන් කෙරෙහි තමන් තුළ අප්රහීණ යම් ම මෛථුන සංයෝගයන් නුවණින් දිටිම් ද, බ්රාහ්මණය, ඒතාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාව කෙරෙහි “අනුත්තර සම්යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි”යි ප්රතිඥා නො ම කෙළෙමි.
බ්රාහ්මණය, යම් කලෙක මම මේ සප්තමෛථුනසංයෝගයන් කෙරෙහි තමන් තුළ අප්රහීණ යම් මැ මෛථුනසංයෝගයක් නො ම දිටිම් ද, බ්රාහ්මණය, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාව කෙරෙහි “අනුත්තර සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි”යි පිළිණ කෙළෙමි.
මාගේ චිත්තවිමුක්තිය අකෝප්ය ය, මෙ අන්තිම ජාතිය යි. දැන් පුනර්භවයෙක් නැතැ යි මට ඥානදර්ශනය ද උපනැ යි.
මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණී බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට තෙල කී ය. මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උවසු කොට ධරණසේක්වා යි.
7. 1. 5. 8.
[සංයෝගවිසංයෝග ධම්මපරියාය සූත්රය]
[සැවැත්නිදාන යි]
51. මහණෙනි, තොපට සංයෝගවිසංයෝග සාධක වූ ධම්මපර්ය්යාය දෙසන්නෙමි. එය අසවු ...
මහණෙනි, එ සංයෝගවිසංයෝගධර්මපර්ය්යාය කවරේ ය යත්:
මහණෙනි, ස්ත්රිය ආධ්යාත්මික ස්ත්රීන්ද්රිය ස්ත්රීක්රියාව ස්ත්රිය පිළිබඳ ආකල්පය ස්ත්රියගේ මානවිධාව ස්ත්රියගේ ඡන්දය ස්ත්රීස්වරය ස්ත්රී අලඞ්කාරය මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පුරුෂේන්ද්රිය පුරුෂක්රියා පුරුෂාකල්ප පුරුෂවිධා පුරුෂ ඡන්ද පුරුෂස්වර පුරුෂාලඞ්කාර මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පිරිමි සංයොග කැමැති වෙයි. සංයෝගප්රත්යයයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙකුත් වේ නම්, එය ද කැමැති වෙයි. මහණෙනි, ස්ත්රීභාවයෙහි අභිරත වූ සත්ත්වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු නම් වෙති. මහණෙනි, මෙසේ ස්ත්රිය ස්ත්රී භාවය නො ඉක්මවයි.