7. 1. 4. 6.
[භික්ඛුමිත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍රයා නෙරණුලබන්නහු විසිනුදු සෙවිය යුත්තේ ය, භජනය කළයුත්තේ ය, පර්‍ය්‍යුපාසන කටයුත්තේ ය. කවර සතෙකින යත්:
ප්‍රිය ද මනාප ද වෙයි. ගුරු ද වෙයි. බුහුමනට නිසි ද වෙයි. වක්තෘ ද වෙයි. වචනක්‍ෂම (ඇදැහිය හැකි වචන ඇත්තේ) ද වෙයි. ගම්භීරකථා කරන්නේ ද වෙයි. අස්ථානයෙහි (නොමඟ) ද නො යොදවයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත භික්‍ෂූමිත්‍ර නෙරණුලබන්නහු විසිනුදු සෙවියයුත්තේ ය, භජනය කටයුත්තේ ය, පර්‍ය්‍යුපාසනා කටයුත්තේ ය.
39. ප්‍රිය වූයේ වේ ද, ගුරු වූයේ වේ ද, භාවනීය වේ ද, වක්තෘ (කථාවෙහි දක්‍ෂ) වේ ද, වචනක්‍ෂම වේ ද, ගැඹුරුතෙපුල් කියන්නේත් වේ ද, අස්ථානයෙහිත් නො යොදන්නේ ද,
40. මො ලොව්හි යම් පුඟුලකු කෙරෙහි තෙල සත් කරුණු විද්‍යමාන වෙත් නම් අර්‍ත්‍ථකාමයාහට අනුකම්පා කරණ එබඳු මිත්‍රතෙම මිත්‍රයන් පතන්නහු විසින් නෙරණු ලැබූව ද භජනය කටයුත්තේ ය යි.
7. 1. 4. 7.
[ප්‍රථමපටිසම්භිදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ නොබෝ කලෙකින් ම සිවුපිළිසිඹියා නැණ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කරන්නේ ය. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මාගේ චිත්තයාගේ මෙ ලීනභාවය’යි යාථාවයෙන් (ඇතිසැටියෙන්) දන්නේ ය. (ථීනමිද්ධානුගත වීමෙන්) සංක්‍ෂිප්ත වූ චිත්තය ‘මාගේ අධ්‍යාත්මයෙහි චිත්තය සංක්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නේ ය. බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂිප්ත චිත්තය ‘මාගේ චිත්තය බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂිප්තය’ යි යාථාවයෙන් දන්නේ ය. ඔහට වේදනාවෝ විදිත වූවාහු ම උපදනාහ, විදිත ව ම එළඹෙත්, විදිත ව ම අස්තයට යෙත්. සංඥාවෝ විදිත වූවාහු ම උපදනාහ, විදිත ව ම එළඹෙත්, විදිත ව ම අස්තයට යෙත්. විතර්‍කයෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යෙත්. ඔහු විසින් සත්ප්‍රාය අස්තප්‍රාය වූ ද හීනප්‍රණීත වූ ද කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ද ධර්‍මයන්හි නිමිත්ත (කාරණ) ය මොනොවට ගන්නාලද වෙයි, මොනොවට මෙනෙහි කරණලද වෙයි, මොනොවට උපධාරණ කරණ ලද වෙයි, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදිනලද වෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම සිවුපිළිසිඹියා නුවණ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වසන්නේ ය යි.
7. 1. 4. 8.
[දෙවෙනි පටිසම්භිදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, කරුණු සතෙකින සමන්‍වාගත සාරිපුත්තයෝ සිවුපිළිසිඹියා නුවණ තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙත්. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සැරියුත් තෙරණුවෝ ‘මාගේ මෙ චිත්තයාගේ ලීනභාවය ඇතැ’යි යාථාවයෙන් දන්නාහ. අධ්‍යාත්මයෙහි සංක්‍ෂිප්ත (හැකුළුනා) වූ හෝ සිත ‘අධ්‍යාත්මයෙහි මාගේ චිත්තය සංක්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නාහ. බාහ්‍යයෙහි වික්‍ෂිප්ත (විසිරගියා) වූ හෝ චිත්තය ‘මාගේ චිත්තය බාහ්‍යයෙහි වික්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නාහ. ඔහට වේදනාවෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළැඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ.