7. 1. 4. 7.
[ප්‍රථමපටිසම්භිදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ නොබෝ කලෙකින් ම සිවුපිළිසිඹියා නැණ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කරන්නේ ය. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මාගේ චිත්තයාගේ මෙ ලීනභාවය’යි යාථාවයෙන් (ඇතිසැටියෙන්) දන්නේ ය. (ථීනමිද්ධානුගත වීමෙන්) සංක්‍ෂිප්ත වූ චිත්තය ‘මාගේ අධ්‍යාත්මයෙහි චිත්තය සංක්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නේ ය. බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂිප්ත චිත්තය ‘මාගේ චිත්තය බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂිප්තය’ යි යාථාවයෙන් දන්නේ ය. ඔහට වේදනාවෝ විදිත වූවාහු ම උපදනාහ, විදිත ව ම එළඹෙත්, විදිත ව ම අස්තයට යෙත්. සංඥාවෝ විදිත වූවාහු ම උපදනාහ, විදිත ව ම එළඹෙත්, විදිත ව ම අස්තයට යෙත්. විතර්‍කයෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යෙත්. ඔහු විසින් සත්ප්‍රාය අස්තප්‍රාය වූ ද හීනප්‍රණීත වූ ද කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ද ධර්‍මයන්හි නිමිත්ත (කාරණ) ය මොනොවට ගන්නාලද වෙයි, මොනොවට මෙනෙහි කරණලද වෙයි, මොනොවට උපධාරණ කරණ ලද වෙයි, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදිනලද වෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම සිවුපිළිසිඹියා නුවණ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වසන්නේ ය යි.
7. 1. 4. 8.
[දෙවෙනි පටිසම්භිදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, කරුණු සතෙකින සමන්‍වාගත සාරිපුත්තයෝ සිවුපිළිසිඹියා නුවණ තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙත්. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සැරියුත් තෙරණුවෝ ‘මාගේ මෙ චිත්තයාගේ ලීනභාවය ඇතැ’යි යාථාවයෙන් දන්නාහ. අධ්‍යාත්මයෙහි සංක්‍ෂිප්ත (හැකුළුනා) වූ හෝ සිත ‘අධ්‍යාත්මයෙහි මාගේ චිත්තය සංක්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නාහ. බාහ්‍යයෙහි වික්‍ෂිප්ත (විසිරගියා) වූ හෝ චිත්තය ‘මාගේ චිත්තය බාහ්‍යයෙහි වික්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නාහ. ඔහට වේදනාවෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළැඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ.
සංඥාවෝ විදිත් ව ම උපදනාහ, විදිත ව ම එළඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ. විතර්‍කයෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළැඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ. උපකාරී අනූපකාරී වූ ද හීනප්‍රණීත වූ ද කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ද ධර්‍මයන්හි නිමිත්ත ඔහු විසින් මොනොවට ගන්නාලද වෙයි. මොනොවට මෙනෙහි කරණලද වෙයි. මොනොවට උපධාරණ කරණලද වෙයි. ප්‍රඥායෙන් මැනැවින් පිළිවිදුනාලද වෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත සැරියුත්හු තුමූ සිවුපිළිසිඹියා විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එළඹ වාසය කරන්නාහ යි.
7. 1. 4. 9.
[ප්‍රථම චිත්තවසවත්තන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ සිත වසෙහි පවත්වයි. මහණ ද චිත්තයාගේ වශයෙන් නො වැටෙයි. කවර සතෙකින යත්:
මහණෙනි. මෙ සස්නෙහි මහණ සමාධිකුශල වෙයි. සමාධි සමාපත්තියෙහි කුශල වෙයි. සමාධිස්ථිතියෙහි කුශල වෙයි. සමාධිව්‍යුත්‍ථානයෙහි කුශල වෙයි. සමාධිකල්‍යභාවයෙහි කුශල වෙයි. සමාධිගෝචරයෙහි කුශල වෙයි. සමාධිඅභිනීහාරයෙහි කුශල වෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ චිත්තය වශයෙහි පවත්වයි. මහණ ද චිත්තයාගේ වශයෙන් නො වැටේ යයි.
7. 1. 4. 10.
[දෙවෙනි චිත්තවසවත්තන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත සාරිපුත්තයෝ චිත්තය ස්වවශයෙහි පවත්වන්නාහ. සාරිපුත්තයෝ ද චිත්තයාගේ වශයෙන් නො පවත්නාහ. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සැරියුත්හු සමාධියෙහි කුශල වෙති. සමාධිසමාපත්ති කුශල වෙති. සමාධිස්ථිති කුශල වෙති. සමාධිව්‍යුත්‍ථාන කුශල වෙති. සමාධිකල්‍ය (දක්‍ෂභාවයෙහි) කුශල වෙත්. සමාධි ගෝචරයෙහි කුශල වෙත්. සමාධි අභිනීහාරයෙහි (එළවා ගැණීමෙහි) කුශල වෙති.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත සාරිපුත්තයෝ චිත්තය වශයෙහි පවත්වත්, සැරියුත්හු චිත්තයාගේ වශයෙන් නො පවති ත්.