7. 1. 4. 12.
[දෙවැනි නිද්දසවත්ථු සූත්රය]
43. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාම යෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කෝසම්බියෙහි පිඬු සඳහා පිවිසියහ. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරුන්හට තෙලෙ සිත් විය: “තව ම කොසඹෑහි පිණ්ඩපාතය සඳහා වදනට අලුයම බොහෝ වෙයි. මම කෝසම්බියෙහි අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ගේ අසපුව කරා යෙම් නම් මැනැවැ”යි.
එක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ගේ අසපුව කරා වැඩියහ. වැඩ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ.
එ සමයෙහි රැස් ව හුන් ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයන් අතුරෙහි මෙ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම් ම කිසිවෙක් දොළොස්වසක් පරිපූර්ණ කොට පිරිසිදු බ්රම්සර සෙරේ නම්, ‘හෙ නිද්දස මහණ’යි කීමට නිසි වේ ය”යි.
එක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ, නො පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට ‘භාග්යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අර්ත්ථය දනුම්හ’යි හුනස්නෙන් නැඟ නික්මගියහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩියාහු භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකතත්පස්හි හුන් ආයුෂ්මත් ආනන්ද තෙරහු භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
වහන්ස, මම පෙරවරු වේලෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙණ මේ කොසඹෑහි පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස ඒ මට තෙල සිත් විය: කොසඹෑහි පිඬු සඳහා සරනට තව බොහෝ අලුයම වෙයි. මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹෙම් නම් මැනැවැ’යි.
වහන්ස, ඉක්බිති මම අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ගේ ආරාමය කරා එළැඹියෙමි. එළැඹ එ අන්තොටු පිරිවැජියන් හා සමඟ සතුටු වීමි. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්හි හිනිමි.
වහන්ස, එ සමයෙහි රැස් ව හුන් ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයන් අතුරෙහි මෙ අතුරු කථාව පාළ විය:
ඇවැත්නි, යම් ම කිසිවෙක් දොළොස්වසක් පිරිපුන් පිරිසුදු බඹසර වෙසේ නම්, ‘නිද්දස මහණෙකැ’යි කියනට නිස්සේ යයි.
වහන්ස, ඉක්බිති මම එ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො පිළිගත්මි, නො බැහැර කෙළෙමි. නො පිළිගෙණ නො බැහැර කොට “භාග්යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැනගණිමැ”යි හුනස්නෙන් නැඟ නික්ම ගියෙමියි.
වහන්ස, මෙ ධර්මවිනයෙහි හුදෙක් වර්ෂගණනාමාත්රයෙන් ‘නිද්දස මහණෙකැ’යි පැණවිය හැකි දැ? යි.
ආනන්දයෙනි, මෙ ධර්මවිනයෙහි හුදෙක් වස්ගිණුම් මතුයෙකින් ‘නිද්දස මහණෙකැ’යි පැණැවිය නො හැකැයි.
ආනන්දයෙනි, මා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පවසන ලද මෙ නිද්දසවත්ථු සතෙක. කවර සතෙක යත්:
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැතියේ වෙයි. හිරි ඇතියේ වෙයි. ඔතප් ඇතියේ වෙයි. බොහෝ ඇසූපිරූ තැන් ඇතියේ වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. ස්මෘති ඇතියේ වෙයි. විවසුන් පැණ ඇතියේ වෙයි.
ආනන්දයෙනි, මේ නිද්දසවත්ථූහු සත්දෙන මා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පවසන ලදහ.
ආනන්දයෙනි, මේ නිද්දසවත්ථුහු සතින් සමන්වාගත මහණ දොළොස්වසක් වේවයි පිරිපුන් පිරිසුදු මඟබඹසර වෙසේ නම්, ‘නිද්දස මහණ’යි කීමට නිසියේ වෙයි. සූවිසිවසක් වේවයි පරිපූර්ණ පරිශුද්ධ බ්රහ්මචර්ය්යය රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වෙයි. සතිස්වසක් වේවයි පිරිපුන් පිරිසිදු බ්රහ්මචර්ය්යය රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වෙයි. අටසාළිස්වසක් වේවයි පිරිපුන් පිරිසිදු මඟබඹසර රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වේ යයි.
දේවතා වර්ගය සතරවැනි යි.
එහි උද්දානය:
අප්පමාද සූත්රය, හිරි සූත්රය, සෝවචස්සතා සූත්ර දෙක ය, මිත්ත සූත්ර දෙක ය, පටිසම්භිදා සූත්ර දෙක ය, චිත්තවස සූත්ර දෙක ය, නිද්දස සූත්ර දෙක යයි සූත්ර දොළොසෙකි.