7. 1. 4. 11.
[ප්‍රථම නිද්දස වත්‍ථු සූත්‍රය]
42. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ සැවැත්හි පිඬු පිණිස පිවිසියහ.
එක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට තෙලෙ සිත විය: “තව ම සැවැත්හි පිඬු පිණිස සැරිසරණට බොහෝ අලුයම් වෙයි. මම අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුවට එළැඹෙම් නම් මැනවැ”යි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරහු අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා වැඩියහ. වැඩ එ අන්තොටු පිරිවැජියන් හා සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්හි වැඩ හුන්හ.
එ සමයෙහි රැස් ව හුන් එ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථායෙක් පාළ විය: “ඇවැත්නි, යම් පුද්ගලයෙක් දොළොස් වසක් පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් හෙ ‘නිද්දස (දසවස්කථා ඉක්ම වූ) මහණ’ යි කීමට නිසි වෙ යි.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරහු එ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ, නො ද පිළිකෙව් කළහ. නො පිළිගෙණ ප්‍රතික්‍ෂේප නො කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දනුම්හ”යි හුනස්නෙන් නැඟ වැඩියහ.
එක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සැවැත්හි පිඬු පිණිස සැරැ පසුබත් වේලෙහි පිඬුවායෙන් පෙරළා පැමිණියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු රැගෙණ සැවැත්හි පිඬු සඳහා පිවිසියෙමි. වහන්ස, එ මට තෙලෙ සිත් විය: සැවැත්හි පිඬු සඳහා වදනට තව බොහෝ අලුයම් වෙයි. මම අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුවට කරා යෙම් නම් මැනවැයි. වහන්ස, ඉක්බිති මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළැඹියෙමි. එළැඹ එ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වීමි. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්හි හිනිමි. වහන්ස, එ සමයෙහි එ රැස් ව හුන් අන්තොටු පිරිවැජියන් අතුරෙහි මෙ අතුරුකථාව උපන: “ඇවැත්නි, යම් පුද්ගලයෙක් දොළොස්වසක් පිරිපුන් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය සෙරේ නම්, ‘නිද්දස මහණ’යි කියනට නිසි වේ”ය යි. වහන්ස, එක්බිති මම එ අන්තොටු පිරිවැජ්ජන්ගේ භාෂිතය නො පිළිගතිමි, නො ම ප්‍රතික්‍ෂේප කෙළෙමි. නො පිළිගෙණ නො පිළිකෙව් කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්මි”යි හුනස්නෙන් නැඟී නික්මගියෙමි.
වහන්ස, මෙ ධර්‍මවිනයෙහි හුදු වස් ගණන් පමණෙකින් ‘නිද්දස මහණෙකැ’යි පැනැවිය හැකි දැ යි.
ශාරීපුත්‍රයෙනි, හුදු වස්ගණන් පමණෙකින් මෙ ධර්‍මවිනයෙහි (පුඟුලකු) ‘නිද්දස මහණෙකැ’යි පැනැවිය නො හැක්ක.
ශාරීපුත්‍රයෙනි, මෙ නිද්දසවතථු සත්දෙනෙක් මා විසින් තමා ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දන්නා ලදහ. කවර සතෙක යත්:
ශාරීපුත්‍රයෙනි, මේ සස්නෙහි මහණ ශික්‍ෂාසමාදානයෙහි තීව්‍රඡන්‍ද ඇතියේ වෙයි, මත්තෙහි දු ශික්‍ෂාසමාදානයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ධර්‍මොපධාරණයෙහි (විදර්‍ශනාවෙහි) දෘඪඡන්‍දය ඇතියේ වෙයි, මතුයෙහි දු ධර්‍මොපධාරණයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ඉච්ඡා විනයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මත්තෙහි දු ඉච්ඡා විනයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. පිළිසලනෙහි දළසඳ ඇතියේ මතුයෙහි දු පිළිසලනෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. වීර්‍ය්‍යාරම්භයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු වීර්‍ය්‍යාරම්භයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ස්මෘති-නිපකභාවයෙහි (ප්‍රඥායෙහි) තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු ස්මෘති-නිපකභාවයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. දෘෂ්ටි (මාර්‍ග) ප්‍රතිවේධයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු දෘෂ්ටිප්‍රතිවේධයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි.
ශාරීපුත්‍රයෙනි, මෙ සත් නිද්දසවත්‍ථුහු මා විසින් තමා ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රවිදිතයහ.
ශාරීපුත්‍රයෙනි, මෙ නිද්දසවත්‍ථුහු සතින් සමන්‍වාගත මහණ දොළොස් වසකුදු පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය රක්නේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වෙයි. සූවිසිවසක් නමුදු පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වේ. සතිස්වසකුදු පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වෙයි. අට සාළිස්වසකුදු පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වේ යයි.
7. 1. 4. 12.
[දෙවැනි නිද්දසවත්‍ථු සූත්‍රය]
43. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාම යෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කෝසම්බියෙහි පිඬු සඳහා පිවිසියහ. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට තෙලෙ සිත් විය: “තව ම කොසඹෑහි පිණ්ඩපාතය සඳහා වදනට අලුයම බොහෝ වෙයි. මම කෝසම්බියෙහි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා යෙම් නම් මැනැවැ”යි.
එක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා වැඩියහ. වැඩ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ.
එ සමයෙහි රැස් ව හුන් ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම් ම කිසිවෙක් දොළොස්වසක් පරිපූර්‍ණ කොට පිරිසිදු බ්‍රම්සර සෙරේ නම්, ‘හෙ නිද්දස මහණ’යි කීමට නිසි වේ ය”යි.
එක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ, නො පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට ‘භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දනුම්හ’යි හුනස්නෙන් නැඟ නික්මගියහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකතත්පස්හි හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: