7. 1. 4. 1.
[අප්පමාදගාරව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. එකල එක්තරා දෙවියෙක් රෑ පළමු යම ඉක්මගිය කල්හි මනා වර්‍ණයෙන් යුක්තව මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා ය:
වහන්ස, මෙ ධර්‍මයෝ සත් දෙනෙක් භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස පවතිත්. කවර සතෙක යත්:
ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇති බව, දහම්හි ගෞරව ඇති බව, සඟුන් කෙරෙහි ගෞරව ඇති බව, ශික්‍ෂාහි ගෞරව ඇති බව, සමාධියෙහි ගෞරව ඇති බව, අප්‍රමාදයෙහි ගෞරව ඇති බව, පටිසන්‍ථාරයෙහි ගෞරව ඇති බව ය. වහන්ස, මෙ සත් දහම්හු මහණහුගේ නො පිරිහීම පිණිස පවත්නාහ යී.
ඒ දේවතාවා මෙය කිවු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ අනුදත් සේක.
එක්බිති ඒ දේවි, මබස ශාස්තෘහු අනුදත්හයි බුදුන් වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ඇවෑමෙන් මහණුන් ඇමැතූ සේක: මහණෙනි, මෙ රාත්‍රියෙහි අභිකාන්තරාත්‍රියෙහි මනා සිරුරුපැහැයෙන් යුතු අන්‍යතර දෙවියෙක් හැම ජේතවනය බබුළුවා මා කරා එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක්හි සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි මට තෙල සැළකෙළේ ය:
වහන්ස, මෙ සත් කරුණුහු භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙත්. කවර සතෙක යත්:
සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සමාධිගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස, මෙ සත්දහම්හු භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙන්නාහ යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
30. ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇතියේ ධර්‍මය කෙරෙහි ගෞරව ඇතියේ සඟුන් කෙරෙහි දු තීව්‍රගෞරව ඇතියේ සමාධියෙහි ගෞරව ඇතියේ කෙලෙස් තවන වැර ඇතියේ ශික්‍ෂායෙහි තීව්‍රගෞරව ඇතියේ,
31. අප්‍රමාදයෙහි ගෞරව ඇතියේ පිළිසඳරෙහි ගෞරව ඇතියේ පරිහානියට අභව්‍ය වෙයි. එබඳු මහණ නිවන් හමුයෙහි ම වේ ය යි.
7. 1. 4. 2.
[හිරිගාරව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, මේ රාත්‍රියෙහි රැය බෙහෙවින් ඉක්මයත් ම මනා සිරුරු පැහැ ඇති අන්‍යතර දෙවියෙක් මුළු ජේතවනය බබුළුවා මා කරා එළඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක් සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේ ය:
වහන්ස, මෙ සත් කරුණුහු මහණහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර සතෙක යත්:
ශාස්තෘගෞරව ඇති බව, ධර්‍මගෞරව ඇති බව, සඞ්ඝගෞරව ඇති බව, ශික්‍ෂාගෞරව ඇති බව, සමාධිගෞරව ඇති බව, හ්‍රීගෞරව ඇති බව, ඔතප්හි ගෞරව ඇති බව යි. වහන්ස, මෙ සත් කරුණුහු භික්‍ෂුහුගේ නො පිරිහීමට වැටෙති යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදැකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
32. මහණ ශාස්තෘගෞරව ඇතියේ ධර්‍මගෞරව ඇතියේ සඞ්ඝයා කෙරෙහි තීව්‍රගෞරව ඇතියේ සමාධිගෞරව ඇතියේ කෙලෙස් තවන වැර අතියේ ශික්‍ෂාහි ගෞරව ඇතියේ,
33. හ්‍රීයෙන් හා ඔතප් ගුණෙන් සමන්‍වාගත වූයේ ප්‍රතිශ්‍රය ඇතියේ ගෞරව සහිත වූයේ පරිහානියට අභව්‍ය වූයේ නිවන් හමුයෙහි ම වේ ය යි.
7. 1. 4. 3.
[පළමුවන සෝවචස්සතා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, ඒ රෑහි අභිකාන්තවර්‍ණ ඇති එක්තරා දෙවියෙක් බෙහෙවින් ඉක්මගිය රාත්‍රියෙහි මුළු ජේතවනය බබුළුවා මා කරා එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි හිඳ ඒ දෙවි මට තෙල කරුණ පැවැසී ය:
වහන්ස, මෙ සත් කාරණයෝ භික්‍ෂුහුගේ නො පිරිහීම සඳහා වැටෙති. කවර සතෙක යත්:
සත්‍ථුගාරවතා හා ධම්මගාරවතා හා සඞ්ඝගාරවතා හා සික්ඛාගාරවතා හා සමාධිගාරවතා හා සෝවචස්සතා හා කල්‍යාණමිත්තතා යි. වහන්ස, මෙ සත් කාරණයෝ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
34. ශාස්තෘගෞරව ඇතියේ ධර්‍මගෞරව ඇතියේ සඟුන් කෙරෙහි දූ දෘඪගෞරව ඇතියේ සමාධිගෞරව ඇතියේ ආතාප ඇතියේ ශික්‍ෂාහි දෘඪගෞරව ඇතියේ,
35. කලණ මිතුරන් ඇතියේ අවවාදක්‍ෂම වූයේ ප්‍රතිශය (ගුරුගෞරව) ඇති ගෞරව සහිත වූයේ පරිහානියට අභව්‍ය වෙයි. නිර්‍වාණ සමීපයෙහි ම වේ යයි.