7. 1. 3. 9.
[උපාසකපරිහානීය සූත්රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, මෙ සප්ත ධර්ම කෙනෙක් උපාසකයාගේ පරිහානියට වැටෙති. කවර සතෙක යත්:
සඟුන්ගේ දර්ශනය පිරිහෙළයි. සද්ධර්මශ්රවණය පමා කෙරෙයි. අධිශීලයෙහි නො හික්මෙයි. ස්ථවිර මධ්යම නවක යන භික්ෂූන් කෙරෙහි අප්රසාද බහුල වෙයි. දොස් දක්නා සිතින් සිදුරු සොයන සුලුයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැරි සස්නෙහි දු දක්ෂිණාර්හයන් සොයයි. එහි දු පූර්වාකාර කෙරෙයි.
මහණෙනි, මේ සත් කරුණුහු උපාසකයාගේ පරිහානියට වැටෙති.
මහණෙනි, මෙ සප්ත ධර්ම කෙනෙක් උපාසකයාගේ අපරිහානියට වැටෙති. කවර සතෙක යත්:
භික්ෂූන්ගේ දර්ශනය නො පිරිහෙළයි. සද්ධර්මශ්රවණය පමා නො කෙරෙයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිර මධ්යම නවක යන භික්ෂූන් කෙරෙහි ප්රසාද බහුල වෙයි. දොස් නො දක්නා සිත් ඇතියේ රන්ධ්රගවේෂී නො වූයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැර දක්ෂිණාර්හයන් නො සොයයි. එහි දු පූර්වාකාර නො කෙරෙයි.
මහණෙනි, මෙ සප්ත ධර්මයෝ උවසුහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.
14. යම් උපාසකයෙක් භාවිතාත්ම භික්ෂූන්ගේ දර්ශනය හා ආර්ය්යධර්මයන්ගේ ශ්රවණය පිරිහෙළා ද, අධිශීලයෙහි නො හික්මේ ද,
15. සඟුන් කෙරෙහි අප්රසාදය වැඩි වැඩියෙන් වඩා ද, දොස් සොයන සිතැති ව සදහම් ඇසීමට කැමැති වේ ද,
16. මෙ සස්නෙන් බැහැරෙහි දු අන්යදක්ෂිණාර්හයකු සොයා ද, යම් උවසුයෙක් එ බැහැරි සස්නෙහි ම පූර්වාකාර (ආගමික ක්රියා) කෙරේ ද,
17. මනාකොට දෙසනලද මෙ සප්ත පරිහානීය ධර්මයන් සේවනය කරණ උවසු තෙමේ සද්ධර්මයෙන් පිරිහෙයි.
18. යම් උපාසකයෙක් භාවිතාත්ම භික්ෂූන්ගේ දර්ශනය නො පිරිහෙළා ද, ආර්ය්ය ධර්මයන්ගේ ශ්රවණය නො පිරිහෙළා ද, අධිශීලයෙහි හික්මේ ද,
19. භික්ෂූන් කෙරෙහි ඔහුගේ ප්රසාදය වැඩි වැඩියෙන් වඩා ද, උපාරම්භසිත් නැති ව සදහම් අසන්නට කැමැති වේ ද,
20. මෙ සස්නෙන් බැහැර අන්ය දක්ෂිණාර්හයන් නො සොයන්නේ ද, යම් උවසුයෙක් මේ සස්නෙහි ම පූර්වාකාර කෙරේ ද,
21. මොනොවට දෙසනලද මේ සප්ත අපරිහානීය ධර්මයන් සෙවුනා උපාසක සද්ධර්මයෙන් නො පිරිහේ.
7. 1. 3. 10.
[උපාසක විපත්ති සූත්රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, උපාසකහට මේ විපත් සතෙකි ... මහණෙනි, උපාසකහට මේ සම්පත් සතෙකි ...