7. 1. 3. 7.
[පස්වැනි භික්ඛූ අපරහානීය සූත්රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්මයන් දෙසන්නෙමි, ඒ අසව ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්මයෝ කවරහ යත්:
මහණෙනි, යම් තාක් භික්ෂූහු අනිත්ය සංඥාව වඩත් ද, මහණෙනි, භික්ෂූනට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු.
මහණෙනි, යම් තාක් භික්ෂූහු අනාත්මසංඥාව වඩත් නම් ... අශුභසංඥාව වඩත් නම් ... ආදීනව සංඥාව වඩත් නම් ... ප්රහාණසංඥා වඩත් නම් ... විරාග සංඥා වඩත් නම් ... නිරෝධසංඥා වඩත් නම් ... මහණෙනි, භික්ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති වියයුතු.
මහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්මයෝ භික්ෂූන් කෙරෙහි වැටෙත් ද, භික්ෂූහු ද මෙ සප්ත අපරිහානීය ධර්මයන්හි පැණෙත් ද, මහණෙනි, භික්ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යි.
7. 1. 3. 8.
[සේඛ අපරහානීය සූත්රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, ශෛක්ෂ භික්ෂුහුගේ පරිහානිය සඳහා මෙ සප්තධර්ම කෙනෙක් වැටෙත්. කවර සතෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්ද්රියයන්හි අගුප්තද්වාරතාය, භෝජනයෙහි අමාත්රඥතාය, - සඞ්ඝයා කෙරෙහි සඞ්ඝකරණීයයෝ විද්යමාන වෙත් ද, එහි ලා ශෛක්ෂ භික්ෂු මෙසේ සලකයි: “සඞ්ඝයා කෙරෙහි චිරරාත්රඥ වූ චිරප්රව්රජිත වූ සඞ්ඝකෘත්ය භාරවහනය කරණ තෙර මහණහු ඇත් මැ යි. ඔහු එයින් පැණෙති”යි (මෙසේ සිතා) තෙමේ (එ කිසෙහි) වියෝගයට පැමිණෙයි. නො යෙදෙයි.
මහණෙනි, මෙ සප්ත ධර්මයෝ ශෛක්ෂ භික්ෂුහුගේ පරිහානියට වැටෙතියි.
මහණෙනි, මෙ සප්තධර්ම කෙනෙක් ශෛක්ෂ භික්ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර සතෙක යත්:
කර්මයන්හි නො ඇලෙන බව, භාෂ්යයෙහි නො ඇලෙන බව, නිද්රායෙහි නො ඇලෙනබව, ගණයෙහි නො ඇලෙන බව, ඉඳුරන්හි ගුප්තද්වාරතාව, භෝජනයෙහි මාත්රඥතාව, සඟුන් අතුරෙහි සඞ්ඝකරණීයයෝ ඇද් ද, එහි ලා ශෛක්ෂ මහණ මෙසේ සිතයි. “සඞ්ඝයා අතුරෙහි චිරප්රව්රජිත වූ චිරරාත්රඥ වූ සඞ්ඝකෘත්ය භාරවාහී වූ ස්ථිවිර භික්ෂුහු ඇත් මැ යි, උහු එ කිසෙන් පළට වන්නාහ”යි (මෙසේ සිතා) තෙමේ (එහි) වියෝගයට නො පැමිණෙයි.
මහණෙනි, ශෛක්ෂ භික්ෂූහුගේ අපරිහානිය සඳහා මෙ සප්ත ධර්මයෝ වැටෙති යි.
7. 1. 3. 9.
[උපාසකපරිහානීය සූත්රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, මෙ සප්ත ධර්ම කෙනෙක් උපාසකයාගේ පරිහානියට වැටෙති. කවර සතෙක යත්:
සඟුන්ගේ දර්ශනය පිරිහෙළයි. සද්ධර්මශ්රවණය පමා කෙරෙයි. අධිශීලයෙහි නො හික්මෙයි. ස්ථවිර මධ්යම නවක යන භික්ෂූන් කෙරෙහි අප්රසාද බහුල වෙයි. දොස් දක්නා සිතින් සිදුරු සොයන සුලුයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැරි සස්නෙහි දු දක්ෂිණාර්හයන් සොයයි. එහි දු පූර්වාකාර කෙරෙයි.
මහණෙනි, මේ සත් කරුණුහු උපාසකයාගේ පරිහානියට වැටෙති.