7. 1. 3. 2.
[වස්සකාර සූත්රය]
22. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි මාගධරාජ වූ වේදේහී පුත්ර වූ අජාතසත්තු තෙම වැදෑරජුන් මඩනට යනු කැමැතියේ වෙයි.
හේ මෙසේ කියයි: මම මෙසෙයින්, මහර්ධි ඇති මෙසෙයින් මහානුභාව ඇති මෙ ව්රජිරජුන් සිඳ ලන්නෙමි, ව්රජිරජුන් වනසන්නෙමි, ව්රජරාජයන් අනයව්යසනයට පමුණුවන්නෙමියි.
ඉක්බිති මාගධරාජ වූ වේදේහී පුත්ර අජාතසත්තු රජ මගධ මහාමාත්ර වූ වත්සකාර බ්රාහ්මණයා ඇමැතී ය: බ්රාහ්මණය, එව තෝ භාග්යවතුන් වහන්සේ කරා යව. ගොස් මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේගේ පා හිසින් වඳුව. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් සිරිරුබල පහසුවිහරණ පුළුවුස්ව.
“වහන්ස, වේදේහී පුත්ර අජාතසත්තු මාගධරාජ භාග්යවතුන් වහන්සේගේ පා වඳනේ ය. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ විචාරන්නේ ය. වහන්ස, වේදේහී පුත්ර අජාතසත්තු මගධරජ වැදෑමහරජුන් මඩනට යනු කැමැත්තේ ය. හේ මෙසේ කියයි: “මම මෙබඳු මහර්ධි ඇති මෙ බඳු මහානුභාව ඇති මෙ වැදෑ රජුන් උසුන් කරන්නෙමි. මෙ වැදෑරජුන් වනසාලන්නෙමි. මෙ ව්රජීන් මම අනය ව්යසනයට පමුණුවන්නෙමි”යි. ඒ භාග්යවතුන් වහන්සේ යම් පරිදි පාළ කරණසේක් නම් එය මනාකොට උගෙණ මට සැළ කරව. තථාගතයෝ අසත්යයක් නො වදාරන්නාහ”යි.
එසේ ය භවත්නි’ය මගධමහාමාත්ර වූ වස්සකාර බ්රාහ්මණ වේදේහි පුත්ර වූ අජාතසත්තු මගධමහරජහට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟී භාග්යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහිපත් කටයුතු කථාව කොට නිම වා එකත්පසෙක හින. එකත්පසෙක හුන් වස්සකාර මගධමහාමාත්ර බ්රාහ්මණයා භාග්යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්ර මගධරාජ අජාතසත්තු තෙම භවත් ගෞතමයන්ගේ පා සිරසින් වඳනේ අල්පාබාධා, අල්පාතඞ්ක, සැහැල්ලු පැවැතුම, බලය, ඵාසුවිහාර ද පුළුවුස්නේ ය.
භවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්ර වූ අජාතසත්තු මගධාධිපතිරජ වැදෑරජුන් මඩනට යනු කැමැතියේ ය. “හේ මෙසේ ද කියයි: මෙබඳු මහර්ධි ඇති, මෙබඳු මහානුභාව ඇති මෙ ව්රජීන් මම සිඳ පියන්නෙමි, ව්රජීන් වනසාලන්නෙමි, ව්රජීන් අනයව්යසනයට පමුණුවන්නෙමි”යි.
එසමයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේගේ පිටුපස්හි භාග්යවතුන් වහන්සේට පවන් සලන්නාහු වෙත්. එක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක:
(1) ආනන්දයෙනි, වජ්ජීහු නිතර රැස්වන්නාහු සන්නිපාත බහුල වූවාහු ය යන තෙල පුවත කිම තොප විසින් අසනලද දැයි.
වහන්ස, වජ්ජීහු නිතර රැස්වන්නාහු සන්නිපාතබහුලයහයි මා විසින් අසනලදැයි.
ආනන්දයෙනි, වජ්ජීහු යම් තාක් කල් නිතර රැස්වන්නාහු සන්නිපාතබහුල වූවාහු වෙත් ද, ආනන්දයෙනි, වජ්ජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(2) ආනන්දයෙනි, කිම, වජ්ජීහු සමඟ ව රැස්වන්නාහු සමඟ ව නැඟසිටුනාහ, සමඟ ව වජ්ජිකරණී කෙරෙති යි තොප විසින් අසන ලද දැ යි.
වහන්ස, වජ්ජීහු සමඟ ව රැස්වන්නාහ, සමඟ ව නැඟ සිටුනාහ, සමඟ ව වජ්ජීකරණි කරණාහයි මා විසින් අසනලදැයි.
ආනන්දයෙනි, යම් තාක් කල් වජ්ජීහු සමඟ ව රැස් වන්නාහු සමඟ ව නැඟීසිටුනාහ, සමඟ ව වජ්ජිකරණී (රජයේ කටයුතු) කරන්නාහු ද, ආනන්දයෙනි, වජ්ජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් කැමැති නො විය යුතු.
(3) ආනන්දයෙනි, කිම, වජ්ජීහු අප්රඥප්තය නො පණවන්නාහ, ප්රඥප්තය නො සිඳපියන්නාහ, යථාප්රඥප්ත වූ පැරණි වජ්ජීධර්මයෙහි සමාදන් කොට ගෙණ වැටෙතියි තොප විසින් අසන ලද දැයි.
වහන්ස, වජ්ජීහු නො පණවන ලද්දක් නො පණවත්, පණවනලද්ද නො සිඳ පියත්, යථාප්රඥප්ත පෞරාණික වජ්ජිධර්මයෙහි සමාදන් කොටගෙන වැටෙන්නාහ යන තෙල කරුණ මා විසින් අසනලදැයි.
ආනන්දයෙනි, යම් තාක් කල් වජ්ජීහු අප්රඥප්තය නො පණවත් ද, ප්රඥප්තය නො සිඳපියත් ද, යථාප්රඥප්ත පෞරාණික ව්රජිධර්මයෙහි සමාදන් කොටගෙන වැටෙත් ද, ආනන්දයෙනි, වජ්ජින්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(4) ආනන්දයෙනි, කිම, වජ්ජීහු වජ්ජින්ගේ යම් බඳු මහලු වජ්ජිහු වෙත් ද, ඔවුනට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ කථා ද ඇසියයුතු කොට සිතත් යන තෙල කරුණ තොප විසින් අසන ලද දැයි.
වහන්ස, වජ්ජින්ගේ මහලු යම් බඳු වජ්ජිහු වෙත් නම් වජ්ජිහු ඔවුන්ට සත්කාර කරත්, ගරුකරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ බස් ඇසියයුතු කොට හඟිත් යන තෙල කරුණ ම විසින් අසනලදැයි.