7. 1. 3. 3.
[භික්ඛුඅපරහානීය සූත්‍රය]
23. මා විසින් මෙසේ අසනලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්යෙහි වැඩ වසනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූහ: “මහණෙනි, තොපට සප්තඅපරිහානීයධර්‍මයන් දෙසමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, දෙසමියි. වහන්ස, එසේ යයි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, සප්තාපරහානීය ධර්‍මයෝ කවරහ යත්:
(1) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු නිතර රැස්වීම් ඇත්තාහු සන්නිපාත බහුල වෙත් නම් මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(2) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු සමඟ ව නිතර රැස් වන්නාහු නම්, සමඟ ව නැඟීසිටුනාහු නම්, සමඟ ව සඞ්ඝකෘත්‍ය කෙරෙත් නම් මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
(3) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු අප්‍රඥප්තයක් නො පනවත් ද, ප්‍රඥප්තය නො සිඳපියන්නාහු ද, යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් කොට ගෙණ වැටෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(4) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු පැවිදියෙන් බොහෝ කල් ඇති සඞ්ඝපීතෘ වූ සඞ්ඝපරිනායක වූ චිරරාත්‍රඥ වූ යම් බඳු ස්ථවිර භික්‍ෂූහු වෙත් ද, ඔවුනට සත්කාර කරත් ද, ගරු කරත් ද, බුහුමන් කරත් ද, පුදත් ද, ඔවුන්ගේ කථා ඇසියයුතු කොට හඟිත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(5) මහණෙනි, යම් තාක් භික්‍ෂූහු පුනර්‍භවය සඳහා වැටෙන උපන් තෘෂ්ණාවගේ වශයට නොයෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
(6) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු අරන් සෙනසුන්හි අපේක්‍ෂා සහිත වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
(7) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු ‘කිම, නො පැමිණි ප්‍රියශීල සබ්‍රම්සරහු පැමිණෙන්නාහු ද, පැමිණි ප්‍රියශීල සබ්‍රම්සරහු පහසුයෙන් වසන්නාහු දැ යි’ තමා කෙරෙහි ම සිහි එළවන්නාහු නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
මහණෙනි, යම්තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටිත් නම්, මෙ සප්ත අපරිහානිය ධර්‍මයන්හි භික්‍ෂූහු පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති යුතු යයි.
7. 1. 3. 4.
[දෙවැනි භික්ඛු අපරහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍ම දෙසමි. එය අසවු ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
මහණෙනි, යම්තාක් භික්‍ෂූහු කර්‍මාරාම නො වෙත් ද, කර්‍මාරාමතායෙහි අනුයුක්ත නො වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති වියයුතු.
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු භාෂ්‍යාරාම නො වෙත් ද, භාෂ්‍යාරාමතායෙහි අනුයුක්ත නො වෙත් ද ... නිද්‍රාරාම නො වෙත් ද ... සඞ්ගණිකාරම නො වෙත් ද ... පාපේච්ඡ නො වෙත් ද, ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො යෙත් ද ... පාපමිත්‍ර නො වෙත් ද, පාපසහාය පාපසම්ප්‍රවඞ්ක නො වෙත් ද ... ස්වල්පමාත්‍ර විශේෂාධිගමයෙන් අතුරෙහි පරිනිෂ්ඨිත භාවයට නො පැමිණෙත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති වියයුතු යි.
මහණෙනි, යම්තාක් මෙ සප්තඅපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටිත් නම්, මෙ සප්ත අපරිහානිය ධර්‍මයන්හි භික්‍ෂූහු පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූහු වෘද්ධියම විනා පරිහානියෙක් නො කැමැති විය යුතුයයි.
7. 1. 3. 5.
[තෙවැනි භික්ඛූ අපරහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු ශ්‍රද්ධා ඇතියාහු වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.