7. 1. 3. 1.
[සාරන්දද සූත්රය]
21. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ වේසාලී නගරයෙහි සාරන්දද චේතිය වෙහෙරෙහි වැඩ වසනසේක.
එක්බිති බොහෝ ලිච්ඡවීහු භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ ලිච්ඡවීනට භාග්යවතුන් වහන්සේ තෙල කරුණු වදාළහ:
“ලිච්ඡවියෙනි, තොපට සප්තඅපරිහානීය ධර්මයන් දෙසමි. එ අසවු. මනාකොට මෙනෙහි කරවු. කියමි”යි. ‘එසේ ය වහන්සැ’යි ඒ ලිච්ඡවීහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක.
ලිච්ඡවියෙනි, අපරිහානීයධර්ම සත කවර යත්:
(1) ලිච්ඡවියෙනි, ව්රජීහු යම්තාක්කල් නිතර රැස්වන්නාහු රැස්වීම් බහුල කොට ඇත්තාහු නම්, ලිච්ඡවියෙනි, ව්රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(2) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්රජීහු සමඟ ව රැස් වෙත් නම්, සමඟ ව නැඟ සිටුනාහු නම්, සමඟ ව ව්රජීනට අයත් කරණී කෙරෙත් නම්, ලිච්ඡවියෙනි, ව්රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(3) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්රජීහු අප්රඥප්තයන් (පෙර රජුන් විසින් නො පනවන ලද ව්යවස්ථා) නො පණවත් නම්, ප්රඥප්තය (පැණවූ ව්යවස්ථා) නො සිඳලත් නම්, යථාප්රඥප්ත වූ පැරණි ව්රජීධර්මයෙහි සමාදන් කොට ගෙන වැටෙත් නම්, ලිච්ඡවියෙනි, ව්රජිනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
(4) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්රජීහු යම් බඳු මහලු ව්රජීහු වෙත් නම්, ඔවුනට සත්කාර කරන්නාහු, ගරුකරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු නම්, ඔවුන්ගේ ද අවවාද කථා ඇසියයුතු කොට හඟනාහු නම්, ලිච්ඡවියෙනි, ව්රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
(5) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්රජීහු යම් බඳු කුලස්ත්රීහු කුලකුමාරීහු වෙත් නම්, ඔවුන් හැදගෙණ බලාත්කාරයෙන් මැඩගෙණ නො වස්වන්නාහු නම් ලිච්ඡවියෙනි, ව්රජීන්හට වෘද්ධියම මුත් පරිහානියෙක් නො කැමති වියයුතු.
(6) ලිච්ඡවියෙනි, යම් තාක් කල් වැදෑරට වැසියෝ ව්රජින්ගේ ඇතුළුනුවර පිහිටි හෝ බිහිනුවර පිහිටි හෝ යම් බඳු ව්රජිචෛත්යස්ථානයෝ වෙත් නම්, එ හැමට සත්කාරකරන්නාහු, ගරු කරන්නාහු, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, ඔවුනට (රජමහ ඇමති ආදීන් විසින්) දුන්විරූ, කළවිරූ දැහැමි බලි නො පිරිහෙළන්නාහු නම්, ලිච්ඡවියෙනි, ව්රජින්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(7) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්රජීන් විසින් රහතුන් (පැවිද්දන්) කෙරෙහි “කෙසේ නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියාහු ද පහසු සෙයින් වෙසෙත් ව”යි දැහැමි රැකවරණ හා ගෝපන මොනොවට කරණලද වේ නම්, ලිච්ඡවියෙනි, ව්රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්රජීන් කෙරෙහි මෙ සප්ත අපරිහානීයධර්මයෝ පවත්නාහු නම්, මේ සප්ත අපරිහානීය ධර්මයන්හිදු ව්රජීහු පැණෙත් නම්, ලිච්ඡවියෙනි, ව්රජීනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු යයි.
7. 1. 3. 2.
[වස්සකාර සූත්රය]
22. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි මාගධරාජ වූ වේදේහී පුත්ර වූ අජාතසත්තු තෙම වැදෑරජුන් මඩනට යනු කැමැතියේ වෙයි.
හේ මෙසේ කියයි: මම මෙසෙයින්, මහර්ධි ඇති මෙසෙයින් මහානුභාව ඇති මෙ ව්රජිරජුන් සිඳ ලන්නෙමි, ව්රජිරජුන් වනසන්නෙමි, ව්රජරාජයන් අනයව්යසනයට පමුණුවන්නෙමියි.
ඉක්බිති මාගධරාජ වූ වේදේහී පුත්ර අජාතසත්තු රජ මගධ මහාමාත්ර වූ වත්සකාර බ්රාහ්මණයා ඇමැතී ය: බ්රාහ්මණය, එව තෝ භාග්යවතුන් වහන්සේ කරා යව. ගොස් මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේගේ පා හිසින් වඳුව. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් සිරිරුබල පහසුවිහරණ පුළුවුස්ව.
“වහන්ස, වේදේහී පුත්ර අජාතසත්තු මාගධරාජ භාග්යවතුන් වහන්සේගේ පා වඳනේ ය. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ විචාරන්නේ ය. වහන්ස, වේදේහී පුත්ර අජාතසත්තු මගධරජ වැදෑමහරජුන් මඩනට යනු කැමැත්තේ ය. හේ මෙසේ කියයි: “මම මෙබඳු මහර්ධි ඇති මෙ බඳු මහානුභාව ඇති මෙ වැදෑ රජුන් උසුන් කරන්නෙමි. මෙ වැදෑරජුන් වනසාලන්නෙමි. මෙ ව්රජීන් මම අනය ව්යසනයට පමුණුවන්නෙමි”යි. ඒ භාග්යවතුන් වහන්සේ යම් පරිදි පාළ කරණසේක් නම් එය මනාකොට උගෙණ මට සැළ කරව. තථාගතයෝ අසත්යයක් නො වදාරන්නාහ”යි.
එසේ ය භවත්නි’ය මගධමහාමාත්ර වූ වස්සකාර බ්රාහ්මණ වේදේහි පුත්ර වූ අජාතසත්තු මගධමහරජහට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟී භාග්යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහිපත් කටයුතු කථාව කොට නිම වා එකත්පසෙක හින. එකත්පසෙක හුන් වස්සකාර මගධමහාමාත්ර බ්රාහ්මණයා භාග්යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්ර මගධරාජ අජාතසත්තු තෙම භවත් ගෞතමයන්ගේ පා සිරසින් වඳනේ අල්පාබාධා, අල්පාතඞ්ක, සැහැල්ලු පැවැතුම, බලය, ඵාසුවිහාර ද පුළුවුස්නේ ය.