7. 1. 1. 4.
[විත්ථතසත්තබල සූත්රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ බල සතෙකි. කවර සතෙක යත්:
සද්ධාබලය, විරියබලය, හිරිබලය, ඔත්තප්පබලය, සතිබලය, සමාධිබල, පඤ්ඤාබල යි.
(1) මහණෙනි, සද්ධාබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු සැදැහැතියේ වෙයි: “මෙ කරුණෙන් එ භගවත්හු අර්හත්හ, සම්යක්සම්බුද්ධයහ, විද්යායෙන් හා චරණයෙන් සම්පන්නහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර වූ පුරුෂදම්යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන් වහන්සේගේ බෝධිය (බුදුගුණ) හදහයි. මහණෙනි, මෙ සද්ධාබල යී කියනු ලැබේ.
(2) මහණෙනි, විරියබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක අකුශලධර්මයන්ගේ ප්රහාණය සඳහා කුශලධර්මයන්ගේ ප්රතිලාභය සඳහා වීර්ය්ය ඇතියේ දළ පැරැකුම් ඇතියේ කුශලධර්මයන්හි නො හළ වීර්ය්යධුර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙසෙයි. මහණෙනි, මෙ විරිය බල යි කියනු ලැබේ.
(3) මහණෙනි, හිරිබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලාමක අකුශලධර්මසමාපත්තියෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, මෙ හිරිබල යි කියනු ලැබේ.
(4) මහණෙනි, ඔත්තප්පබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක ඔතප් ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් බානේ වෙයි. ලාමක අකුශල ධර්මසමාපත්තියෙන් බියපත් වෙයි. මහණෙනි, මෙ ඔත්තප්පබල යි කියනු ලැබේ.
(5) මහණෙනි, සතිබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරී සවූ සිහි ඇතියේ වෙයි, පරම සතියෙන් හා නිපක භාවයෙන් (නුවණින්) සමන්වාගත වූයේ කළ විරූ දෑ හා බිණු විරූ දෑ සිහිපත් කරණුයේ පුනපුනා සිහිපත් කරණුයේ වෙයි. මහණෙනි, මෙ සතිබල යි කියනු ලැබේ.
(6) මහණෙනි, සමාධිබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙ සමාධිබල යි කියනු ලැබේ.
(7) මහණෙනි, පඤ්ඤාබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මොනොවට දුක් ක්ෂයවීමට යන, නිර්වේදය (කෙලෙස් විදලීම) ඇසුරු කොට පවත්නා ස්කන්ධයන්ගේ උදාවිය පිළිවිදීමට සමත් ආර්ය්යප්රඥායෙන් සමන්වාගත වූයේ ප්රඥාවත් වෙයි. මහණෙනි, මෙ පඤ්ඤාබල යි කියනු ලැබේ.
මහණෙනි, මෙ බල සත යි.
3. සද්ධාබල විරියබල හිරිබල ඔත්තප්පියබල සතිබල සමාධිබල සත්වැනි පඤ්ඤාබල යි. මෙ බල සතින් යුත් නැණැති මහණ සුවසේ වෙසේ.
4. හේ යෝනිසෝමනසිකාරයෙන් චතුස්සත්යධර්මය විමසනේ ය. විදර්ශනාමාර්ගප්රඥායෙන් අර්ත්ථය වෙසෙසා දන්නේ ය. පහනක් නිවෙනු සෙයින් ඔහුගේ චිත්තයාගේ විමෝක්ෂය වේ ය යි.
7. 1. 1. 5.
[සඞ්ඛිත්තධන සූත්රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මේ ධන සතෙකි. කවර සතෙක යත්:
සද්ධාධන සීලධන හිරිධන ඔත්තප්පධන සුතධන චාගධන පඤ්ඤාධන යි.
මහණෙනි, මෙ ධන සත යි.
5. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන ය යි (ධන) සතෙකි.
6. යම් ස්ත්රියකට වේවයි පුරුෂයකුට වේවයි මෙ ධන ඇති නම් හේ ‘නො දිළිඳු ය’යි ද ඔහුගේ ජීවිතය නො සිස් ය යි ද කීහු.
7. එහෙයින් ප්රඥා ඇතියේ බුද්ධශාසනය මෙනෙහි කරමින් ශ්රද්ධා ද, ශිල ද, ප්රසාදය ද, ධර්මදර්ශනය ද යන මෙහි පුනපුනා යෙදෙන්නේ යී.
7. 1. 1. 6.
[විත්ථතධන සූත්රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ ධන සතෙකි. කවර සතෙක යත්:
සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, පඤ්ඤාධන ය යි.
(1) මහණෙනි, සද්ධාධන කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක සැදැහැතියේ වෙයි. “මේ කරුණිනුදු එ භාග්යවතුන් වහන්සේ අර්හත් වන සේක, සම්යක් සම්බුද්ධ වන සේක ... බුද්ධවන සේක, භගවත් වන සේකැ”යි තථාගතයන් වහන්සේගේ බෝධිය හදහයි. මහණෙනි, මෙ සද්ධාධන යී කියනු ලැබේ.