7. 1. 1. 5.
[සඞ්ඛිත්තධන සූත්රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මේ ධන සතෙකි. කවර සතෙක යත්:
සද්ධාධන සීලධන හිරිධන ඔත්තප්පධන සුතධන චාගධන පඤ්ඤාධන යි.
මහණෙනි, මෙ ධන සත යි.
5. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන ය යි (ධන) සතෙකි.
6. යම් ස්ත්රියකට වේවයි පුරුෂයකුට වේවයි මෙ ධන ඇති නම් හේ ‘නො දිළිඳු ය’යි ද ඔහුගේ ජීවිතය නො සිස් ය යි ද කීහු.
7. එහෙයින් ප්රඥා ඇතියේ බුද්ධශාසනය මෙනෙහි කරමින් ශ්රද්ධා ද, ශිල ද, ප්රසාදය ද, ධර්මදර්ශනය ද යන මෙහි පුනපුනා යෙදෙන්නේ යී.
7. 1. 1. 6.
[විත්ථතධන සූත්රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ ධන සතෙකි. කවර සතෙක යත්:
සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, පඤ්ඤාධන ය යි.
(1) මහණෙනි, සද්ධාධන කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක සැදැහැතියේ වෙයි. “මේ කරුණිනුදු එ භාග්යවතුන් වහන්සේ අර්හත් වන සේක, සම්යක් සම්බුද්ධ වන සේක ... බුද්ධවන සේක, භගවත් වන සේකැ”යි තථාගතයන් වහන්සේගේ බෝධිය හදහයි. මහණෙනි, මෙ සද්ධාධන යී කියනු ලැබේ.
(2) මහණෙනි, සීලධන කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු පණිවායෙන් වැළැකියේ වෙයි ... මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකියේ වෙයි. මහණෙනි මෙ සීලධන යි කියනු ලැබේ.
(3) මහණෙනි, හිරිධන කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලාමක අකුශලධර්මසමාපත්තියෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, මෙ හිරිධන යි කියනු ලැබේ.
(4) මහණෙනි, ඔත්තප්පධන කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක ඔත්තප්ප ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ඔතප් ඇති වෙයි. ලමු අකුසල්දහම් කිරීමෙහි ඔතප් ඇතියේ වෙයි. මහණෙනි, මෙ ඔත්තප්පධන ය යි කියනු ලැබේ.
(5) මහණෙනි, සුතධන කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක ශ්රැතධර වූයේ ශ්රැතසන්නිචය ඇතියේ බහුශ්රුත වෙයි. ආදිකල්යාණ වූ මධ්යකල්යාණ වූ පර්ය්යාවසාන කල්යාණ වූ සාර්ත්ථ වූ සව්යඤ්ජන වූ කේවල පරිපූර්ණ වූ පරිශුද්ධ වූ යම් ඒ ධර්මකෙනෙක් මාර්ගබ්රහ්මචර්ය්යය පාළ කරත් නම්, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද වෙත්, ධරණ ලද වෙත්, වචනයෙන් පරිචිත වෙත්, සිතින් විමසන ලද වෙත්, ප්රඥාදෘෂ්ටියෛන් මොනොවට පිළිවිදියාහු වෙත්. මහණෙනි, මෙ සුතධන යයි කියනු ලැබේ.
(6) මහණෙනි, චාගධනය කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු දුරු වූ මසුරුමල ඇති සිතින් මිදු ත්යාග ඇත්තේ, දෙනුවට දෙවි අත් ඇතියේ, පිදීමෙහි ඇලුනේ, යදනට නිසි වූයේ, දානයෙහිත් සංවිභාගයෙහිත් ඇලුනේ ගිහිගෙහි වෙසෙයි. මහණෙනි, මෙ චාගධන යි කියනු ලැබේ.
(7) මහණෙනි, පඤ්ඤාධන කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක ... මැනැවින් දුක් ගෙවීමට යන ප්රඥායෙන් සමන්වාගත වූයේ ප්රඥාවත් වෙයි. මහණෙනි, මෙ පඤ්ඤාධන යි කියනු ලැබේ.
මහණෙනි, මෙ ධන සතයි.
8. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන යයි.
9. යම් ස්ත්රියකට වේවයි පුරුෂයකුට වේවයි තෙල ධන ඇත් නම් හෙ නොදිළිඳුය යි ද ඔහුගේ දිවි නො සිස් යයි ද කීහු.
10. එහෙයින් නුවණැතියේ බුදුසස්න සමරමින් ශ්රද්ධා හා ශීල හා ප්රසාද හා ධර්මදර්ශනය යන මෙහි පුනපුනා යෙදෙන්නේ යයි.