7. 1. 1. 3.
[සඞ්ඛිත්තසත්තබල සූත්රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, මෙ බලසතෙකි. කවර සතෙක යත්:
සද්ධාබලය, විරියබලය, හිරිබලය, ඔත්තප්පබලය, සතිබලය, සමාධිබලය, පඤ්ඤාබල යි. මහණෙනි, මෙ සත් බල යි.
1. සද්ධාබල විරියබල හිරිබල ඔතප්බල සතිබල සමාධිබල හා සත් වැනි වූ ම පඤ්ඤාබලය යි බල සතෙකි. මෙ බල සතින් යුත් පණ්ඩිත මහණ සුවසේ වෙසේ.
2. හේ උපායමනස්කාරයෙන් සිවුසස් දහම් විමසන්නේ ය. විවසුන් සහගිය මග නැණින් එහි අරුත් දක්නේ ය. පහන නිවුනු සෙයින් (චරිමක) චිත්තයාගේ විමෝක්ෂය (වස්තු ආලම්බනයන්ගෙන් මිදීම) වන්නේ යි.
7. 1. 1. 4.
[විත්ථතසත්තබල සූත්රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ බල සතෙකි. කවර සතෙක යත්:
සද්ධාබලය, විරියබලය, හිරිබලය, ඔත්තප්පබලය, සතිබලය, සමාධිබල, පඤ්ඤාබල යි.
(1) මහණෙනි, සද්ධාබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු සැදැහැතියේ වෙයි: “මෙ කරුණෙන් එ භගවත්හු අර්හත්හ, සම්යක්සම්බුද්ධයහ, විද්යායෙන් හා චරණයෙන් සම්පන්නහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර වූ පුරුෂදම්යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන් වහන්සේගේ බෝධිය (බුදුගුණ) හදහයි. මහණෙනි, මෙ සද්ධාබල යී කියනු ලැබේ.
(2) මහණෙනි, විරියබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක අකුශලධර්මයන්ගේ ප්රහාණය සඳහා කුශලධර්මයන්ගේ ප්රතිලාභය සඳහා වීර්ය්ය ඇතියේ දළ පැරැකුම් ඇතියේ කුශලධර්මයන්හි නො හළ වීර්ය්යධුර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙසෙයි. මහණෙනි, මෙ විරිය බල යි කියනු ලැබේ.
(3) මහණෙනි, හිරිබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලාමක අකුශලධර්මසමාපත්තියෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, මෙ හිරිබල යි කියනු ලැබේ.
(4) මහණෙනි, ඔත්තප්පබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක ඔතප් ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් බානේ වෙයි. ලාමක අකුශල ධර්මසමාපත්තියෙන් බියපත් වෙයි. මහණෙනි, මෙ ඔත්තප්පබල යි කියනු ලැබේ.
(5) මහණෙනි, සතිබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරී සවූ සිහි ඇතියේ වෙයි, පරම සතියෙන් හා නිපක භාවයෙන් (නුවණින්) සමන්වාගත වූයේ කළ විරූ දෑ හා බිණු විරූ දෑ සිහිපත් කරණුයේ පුනපුනා සිහිපත් කරණුයේ වෙයි. මහණෙනි, මෙ සතිබල යි කියනු ලැබේ.
(6) මහණෙනි, සමාධිබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙ සමාධිබල යි කියනු ලැබේ.