6. 1. 5. 9.
[ආනන්ද සූත්රය]
[සැවැත්නිදාන යි]
51. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත්නි ශාරිපුත්රයෙනි, මහණ කෙතෙක් කරුණින් නො ඇසූ දහමුන් අසා ද? ඔහු විසින් ඇසූ දහමුත් වනසට නො යේ ද? ඔහු විසින් යම් ධර්මකෙනෙක් සිතින් පහස්නාලද විරූහු නම්, එ දහම්හු දු මනෝද්වාරයෙහි හැසිරෙත් ද? නො දත් කරුණුත් හේ දන්නේ දැ?යි.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බහ්රශ්රැතයහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට ම තෙල කරුණ වැටහේවයි.
ඇවැත්නි ශාරිපුත්රයෙනි, එ හෙයින් ම අසනු මැනැවැ. මොනොවට මෙනෙහි කළ මැනැවැ. කියමි යි. ඇවැත්නි, එසේ යයි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, ශාරීපුත්රයෙනි, මෙ සස්නෙහි මහණ සූත්ර, ගෙය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්මය පිරිවහයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් පරහට දෙසයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය සිතින් අනුවිතර්කණ කෙරෙයි, අනුවිචාර කෙරෙයි, සිතින් විමසා බලයි. යම් ආවාසයෙක්හි බහුශ්රුත වූ අධිගත (දීඝාදි) ආගම ඇති, ධර්මධර වූ විනයධර වූ මාතිකා (ප්රාතිමෝක්ෂ) ධර වූ තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළඹ “වහන්ස, මෙ කිසේ ය, මෙ භාෂිතයාගේ අරුත් කවරැ”යි පරිපෘච්ඡා කෙරෙයි. පරිතුලනා කෙරෙයි. ඔහට එ ආයුෂ්මත්හු අවිවෘත වූ දැය ද විවෘත කෙරෙත්. නො පළට දැය ද පළට කෙරෙත්. සැකයට කරුණු වූ නන්වැදෑරුම් ධර්මයෙහි සැක ද දුරු කෙරෙත්.
ඇවැත්නි, ශාරීපුත්රයෙනි, මෙතෙක් කරුණින් මහණ අශ්රැත ධර්මයත් අසයි. ඔහු විසින් ශ්රැතධර්මයෝත් වනසට නො යෙත්. උහු විසින් යම් ධර්ම කෙනෙක් පෙර සිතින් පහස්නාලදවිරූ නම් එ ධර්මයෝ ද මනෝද්වාරයෙහි හැසිරෙත්. නො දත් කරුණු ද දන්නේ ය යි.
ඇවැත්නි, ආශ්චර්ය්ය ය, ඇවැත්නි, අද්භූත ය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් විසින් මෙය සුභාෂිත මැ යි. ඇවැත්නි, අපි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් මේ සදහමින් සමන්වාගතයකු කොට දරම්හ. (1) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සූත්ර ය, ගෙය ය, වෙය්යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්මය, වෙදල්ල ය යන ධර්ම පිරිවහත්. (2) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි විස්තර විසින් ධර්මය පරනට දෙසත්. (3) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්මය විස්තර විසින් මෙරමා කියවත්. (4) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්මය විස්තර විසින් සජ්ඣායනා කෙරෙත්. (5) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය සිතින් අනුවිතර්කණ කෙරෙත්, අනුවිචාරණ කෙරෙත්, මනසින් සිතා විමසා බලත්. (6) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ යම් ආවාසයෙක බහුශ්රුත ආගතාගම ඇති ධර්මධර විනයධර මාතිකාධර තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙත්. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කලින් කල ඔවුන් කරා එළඹ පරිපෘච්ඡා කෙරෙත්, පරිප්රශ්න කෙරෙත්: “වහන්ස, මෙ කිසේ ය? මෙ භාෂිතයාගේ අර්ත්ථය කවරේ දැ?”යි. එ ආයුෂ්මත්හු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට අවිවෘතය ද විවෘත කරත්, නො පාළ වූ දැය ද පාළ කෙරෙත්, සැකයට කරුණු වූ නන් වැදෑරුම් දහම්හි සැක ද දුරු කෙරෙත් ය යි.
6. 1. 5. 10.
[ඛත්තිය සූත්රය]
[සැවැත්නිදාන යි]
52. එකල්හි ජාණුස්සෝණි බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හින. එකත්පසෙක හුන් ජාණුස්සෝණි බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
(1) භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්රියයෝ කවර අධිප්රාය (අදහස්) ඇත්තාහු ද? කවර උපවිචාර (ආසා - සෙවීම්) ඇතියාහු ද? කවර අධිෂ්ඨාන (ප්රාර්ත්ථනා) ඇතියාහු ද? කවර අභිනිවේශ (කුමක් සඳහා නැමුනු සිත්) ඇතියාහු ද? කවර පර්ය්යවසාන (අවසන් අපේක්ෂා) ඇතියාහු දැ යි.
බමුණ, ක්ෂත්රියයෝ භෝගාධිප්රායයහ. පැණවත් වම්හ යන උපවිචාර ඇතියහ. බලකාය අධිෂ්ඨාන කොට ඇතියහ. පොළෝ (අධිපති බව) පිණිස අභිනිවේශ ඇතියහ. ඓශ්චර්ය්ය - රාජ්යාභිෂේකය පර්ය්යවසාන කොට ඇතියහ යි.
(2) භවත් ගෞතමයන් වහන්ස, බ්රාහ්මණයෝ කවර අධිප්රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්ය්යවසාන ඇතියාහු දැ?යි.
බ්රාහ්මණය, බමුණෝ භෝගාධිප්රාය ඇතියහ. ප්රඥොපවිචාර ඇතියහ. මන්ත්රාධිෂ්ඨාන ඇතියහ. යඥාභිනිවේශ (යාග කිරීමෙහි නැමුනු සිත්) ඇතියහ. බ්රහ්මලෝක පර්ය්යවසාන ඇතියහ.
(3) භවත් ගෞතමයන් වහන්ස, ගැහැවිහු කවර අධිප්රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්ය්යවසාන ඇතියාහු දැ?යි.