6. 1. 5. 10.
[ඛත්තිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
52. එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හින. එකත්පසෙක හුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
(1) භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියයෝ කවර අධිප්‍රාය (අදහස්) ඇත්තාහු ද? කවර උපවිචාර (ආසා - සෙවීම්) ඇතියාහු ද? කවර අධිෂ්ඨාන (ප්‍රාර්‍ත්‍ථනා) ඇතියාහු ද? කවර අභිනිවේශ (කුමක් සඳහා නැමුනු සිත්) ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන (අවසන් අපේක්‍ෂා) ඇතියාහු දැ යි.
බමුණ, ක්‍ෂත්‍රියයෝ භෝගාධිප්‍රායයහ. පැණවත් වම්හ යන උපවිචාර ඇතියහ. බලකාය අධිෂ්ඨාන කොට ඇතියහ. පොළෝ (අධිපති බව) පිණිස අභිනිවේශ ඇතියහ. ඓශ්චර්‍ය්‍ය - රාජ්‍යාභිෂේකය පර්‍ය්‍යවසාන කොට ඇතියහ යි.
(2) භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැ?යි.
බ්‍රාහ්මණය, බමුණෝ භෝගාධිප්‍රාය ඇතියහ. ප්‍රඥොපවිචාර ඇතියහ. මන්ත්‍රාධිෂ්ඨාන ඇතියහ. යඥාභිනිවේශ (යාග කිරීමෙහි නැමුනු සිත්) ඇතියහ. බ්‍රහ්මලෝක පර්‍ය්‍යවසාන ඇතියහ.
(3) භවත් ගෞතමයන් වහන්ස, ගැහැවිහු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැ?යි.
ගැහැවියෝ භෝගාධිප්‍රාය ඇතියහ, ප්‍රඥොපචිචාර ඇතියහ, ශිල්පාධිෂ්ඨාන ඇතියහ, කර්‍මාන්තාභිනිවේශ ඇතියහ, නිෂ්ඨිත කර්‍මාන්ත (කර්‍මාන්තය නිමවීම) පර්‍ය්‍යවසාන කොට ඇතියහ යි.
(4) භවත් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීහු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
බ්‍රාහ්මණය, ස්ත්‍රීහු පුරුෂාධිප්‍රාය ඇතියහ. අලඞ්කාරෝපවිචාර ඇතියහ. පුත්‍රාධිෂ්ඨාන ඇතියහ. අසපත්තී (ගෘහයෙහි දෙවැන්නියක් නැති තමන් පමණක් අධිපති භාවයෙහි) අභිනිවේශ ඇතියහ, ඓශ්චර්‍ය්‍ය (සම්පත්) පර්‍ය්‍යවසාන ඇතියහ යි.
(5) භවත් ගෞතමයන් වහන්ස, සොරු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
බ්‍රාහ්මණය, සොරු ආදානය අධිප්‍රාය කොට ඇතියහ, ගහනෝපවිචාර (මුවහතැන් පිළිබඳ උපවිචාර) ඇතියහ, ශඨාධිෂ්ඨාන (සටබැව් අධිෂ්ඨාන කොට) ඇතියහ. අන්‍ධකාරාභිනිවේශ ඇතියහ. අදර්‍ශනය පර්‍ය්‍යවසාන කොටඇතියහ යි.
(6) භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණයෝ කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
බ්‍රාහ්මණය, ශ්‍රමණයෝ ක්‍ෂාන්තිය හා සුරතභාවය අධිප්‍රාය කොට ඇතියාහ, ප්‍රඥොපවිචාර ඇතියාහ. ශීලාධිෂ්ඨාන ඇතියාහ, අකිඤ්චනභාවාභිනිවේශ (ග්‍රහණ නැති බව අභිනිවේශ කොට) ඇතියාහ, නිර්‍වාණපර්‍ය්‍යාවසාන ඇතියාහ යි.
භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍ය යි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූත යි. භවත් ගෞතමයන් වහන්සේ ක්‍ෂත්‍රියයන්ගේ ද අධිප්‍රාය හා උපවිචාර හා අධිෂ්ඨාන හා අභිනිවේශ හා පර්‍ය්‍යවසාන හා දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ගැහැවියන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ස්ත්‍රීන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ සොරුන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රමණයන්ගේ ද අධිප්‍රාය හා උපවිචාර හා අධිෂ්ඨාන හා අභිනිවේශ හා පර්‍ය්‍යවසාන හා දන්නාහ.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවි හිමියෙන් මා තෙරුවන් සරණ ගිය උවසුවකු කොට ධරන සේක්ව යි.
6. 1. 5. 11.
[අප්පමාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
53. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතු සිහි එළවිය යුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය: