6. 1. 5. 11.
[අප්පමාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
53. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතු සිහි එළවිය යුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, භාවිත වූ බහුලීකෘත වූ යම් ධර්‍මයෙක් දෘෂ්ටධාර්මික අර්‍ත්‍ථය හා යම් සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ ද, එබඳු එක ධර්‍මයෙක් ඇද්දැ? යි.
බ්‍රාහ්මණය, භාවිත වූ බහුලීකෘත වූ යම් ධර්‍මයෙක් දිටුදැම් අර්‍ත්‍ථ හා යම් සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ ද යන උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මයෙක් ඇත.
භවත් ගෞතමයන් වහන්ස, යම් ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටු දැමි අර්‍ත්‍ථ හා පරලෙව්හි අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මය කවරේ දැ?යි.
බ්‍රාහ්මණය, යම් ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අර්‍ත්‍ථ හා සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මය අප්‍රමාදය වෙයි.
(1) බ්‍රාහ්මණය, යම් කිසි ජඞ්ගම (භූමියෙහි හැසිරෙන) ප්‍රාණීන්ගේ පාදයෝ වෙත් නම්, එ හැම යම්සේ ඇත්පියෙහි සමවධානයට (ඇතුළත් වීමට) යෙත් ද, ඇත්පිය මහත්ත්‍වයෙන් එ පදයනට අග්‍ර යයි කියනුලැබේ ද, බ්‍රාහ්මණය, එ පරිදි ම අප්‍රමාද නම් වූ එක ම ධර්‍මය භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැම් අරුත් හා යම් පරලොව්හි අරුතෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ.
(2) බ්‍රාහ්මණය, යම් පරිදි කූටාගාරයක්හුගේ යම්කිසි ගොනැස්හු වෙත් නම්, එ හැම කූටය (මුදුන) ට ගියාහු කූටයට නැමුනාහු කූටය හා එක් වූවාහු වෙත් ද, කූටය ඔවුනට අග්‍ර යයි කියනුලැබේ ද, බ්‍රාහ්මණය, එසෙයින් ම (අප්‍රමාදය) ...
(3) බ්‍රාහ්මණය, යම් පරිදි බබුස්තණ නෙළනුයෙක් බබුස්තණ නෙළා අක්හි ගෙණ යටිහුරු කොට සලා නම් දෙපසින් සලා නම් අත්හි හෝ රුක්හි ගටා නම්, බ්‍රාහ්මණය, එ පරිදි (අප්‍රමාදය) ...
(4) බ්‍රාහ්මණය, යම් පරිදි නටුයෙන් සිඳී ගිය අඹකැනෙහි යම් ම අඹ නටුව හා බැඳුනේ නම් එ හැම එ අනුව ගියේ වේ ද, බමුණ, එ පරිදි (අප්‍රමාදය) ...
(5) බ්‍රාහ්මණය, යම් පරිදි යම්කිසි කුඩා රජහු වෙත් නම්, එ හැම දෙන සක්විති රජු අනුව යන්නාහු වෙත් ද, සක්විති රජ උනට අග්‍ර යයි කියනු ලැබේ ද, බ්‍රාහ්මණය, එ පරිදි ම (අප්‍රමාදය) ...
(6) බ්‍රාහ්මණය, යම් පරිදි තාරක රූපයන්ගේ යම් කිසි ප්‍රභායෙක් වේ නම්, එ හැම චන්‍ද්‍රප්‍රභාවගේ සොළොස්වන අංශුවකුත් නො අගනේ ය. සඳපහන් උනට අග්‍ර යයි කියනු ලැබේ ද, බ්‍රාහ්මණය, එපරිදි ම අප්‍රමාදය භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අරුත් හා යම් සම්පරායෙහි අරුතෙක් වේ නම් එ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ වේ.
බ්‍රාහ්මණය, යම් එක ම ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අර්‍ත්‍ථ හා යම් සම්පරායෙහි අර්‍ත්‍ථ වේ නම් ඒ උභයාර්‍ත්‍ථයන් ම මැනැවින් ගෙණ සිටුනේ වේ යයි.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය, ඉතා කාන්තය ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා ධරණ සේක්ව යි.