6. 1. 5. 12.
[ධම්මික සූත්‍රය]
54. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් ධම්මික තෙරහු ජාතිභූමියෙහි වූ ජාතිභූමිගත හැම සප්ත ආවාසයෙහි ම ආවාසික වෙති.
එකල්හි ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්හට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති, වෙහෙසති, මුවසැතින් විදිති, බසින් ගටා බෙණෙති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු, මුවසැතින් විදිනු ලබන්නාහු, වචනයෙන් ගටා බණනු ලබන්නාහු, නික්ම යෙති. නො සිටිති. ආවාසය පියායෙති.
ඉක්බිති ජාතිභූමියෙහි වැසි උවසුවනට තෙල සිත් වී: “අපි බික්සඟුන් සිවුරු පිඬුවාසෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකරින් පස්වටම්හ. එසේ වුව ද ආගන්තුක භික්‍ෂුහු නික්ම යෙති. නො සිටිති, ආවාසය පියායෙත්. යම් හේතුයෙකින් ආගන්කුක භික්‍ෂුහු නික්ම යෙත් නම්, නො සිටුනාහු නම්, ආවාසය පියායෙත් නම්, එයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ?”යි.
ඉක්බිති ජාතිභූමක උපාසකයනට තෙල සිත් වී “මෙ ආයුෂ්මත් ධම්මික තෙරහු භික්‍ෂූන්ට ආක්‍රෝශ කෙරෙත්. පරිභව බෙණෙත්. වෙහෙසත්. මුවසැතින් විදිත්. වචනයෙන් ගටා බෙණෙත්. ඒ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනු ලබන්නාහු මුවසැතින් විදිනු ලබන්නාහු වචනයෙන් ඝටනු ලබන්නාහු නික්ම යන්නාහ. නො සිටුනාහ. ආවාසය පියායන්නාහ. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් නෙරන්නමෝ (බැහැර කරන්නමෝ) නම් මැනැවැයි.
ඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත එළඹියාහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු මෙ ආවාසයෙන් නික්ම යෙත්වා. මුබගේ මෙහි විසුමෙන් කම් නැතැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහු අන්‍ය ආවාසයක් කරා ගියහ. එහි දු ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්ට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති. වෙහෙසති. මුවසැතින් විදුති. වචනයෙන් ගටා බෙණෙති. එ භික්‍ෂුහු ද ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු මුවසැතින් විදිනු ලබන්නාහු, වචනයෙන් ගටා බණනු ලබන්නාහු නික්ම යෙති. නො සිටිති. ආවාසය පියායෙති.
එකල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: අපි චීවරපිණ්ඩපාතශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් බික්සඟුන් උවටැන් කරම්හ. එසේ වුව ද, ආගන්තුක භික්‍ෂුහු නික්ම යෙති. නො සිටුනාහ. ආවාසය සිස් කරන්නාහ. යම් හෙයෙකින් ආගන්තුක භික්‍ෂූහු නික්ම යෙත් නම්, නො සිටිත් නම්, ආවාසය පියත් නම්, එයට හේතු කවරැ, ප්‍රත්‍යය කවරැයි.
එකල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: මේ ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්ට ආක්‍රෝශ කෙරෙති. පරිභව කෙරෙති. හිංසා කෙරෙති. විතුදනය කෙරෙති. වචනයෙන් ඝටති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු, විතුදනය කරණු ලබන්නාහු, වචනයෙන් කෝප දනවනු ලබන්නාහු, නික්මයෙති, නො සිටිති, ආවාසය පියායෙති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් නෙරමෝ නම් මැනැවැයි.
ඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්හට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු මේ ආවාසයෙන් නික්ම යෙත්වා. මුබගේ මෙහි විසුමින් කම් නැතැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහු එ ආවාසයෙනුදු අන්‍ය ආවාසයක් කරා ගියහ. එහි දු ආයුෂ්මත් ධම්මික තෙරහු මහණුන්ට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති, හිංසා කෙරෙති, විතුදනය කෙරෙති, වචනයෙන් කෝප දනවති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනුලබන්නාහු, විතුදනය කරණු ලබන්නාහු වචනයෙන් ගටනු ලබන්නාහු, බැහැර යෙති, නො සිටිති, ආවාසය පියත්.
එ කල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වීය: “අපි චීවර පිණ්ඩපාත ශයනාසනග්ලානප්‍රත්‍ය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් බික්සඟුන් පස්වටම්හ. එසේ වුව ද, ආගන්තුක මහණහු නික්මයෙති, නො සිටිති, ආවාසය පියායෙති. යම් හෙයෙකින් ආගන්තුක භික්‍ෂූහු නික්ම යෙත් නම් නො සිටිත් නම් ආවාසය පියත් නම් එයට හේතු කවරැ ප්‍රත්‍යය කවරැ”යි.
ඉක්බිති ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: “මෙ ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුනට ආක්‍රෝශ කෙරෙති ... වචනයෙන් ගටා බෙණෙති. එ ආගන්තුක භික්‍ෂූහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනු ලබන්නාහු විතුදනය කරණු ලබන්නාහු වචනයෙන් ගටා බණිනු ලබන්නාහු, නික්මයෙත්, නො සිටිති, ආවාසය පියා යෙති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් නෙරණමෝ නම් මැනැවැ”යි.
ඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් නික්ම යෙත්ව”යි.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහට තෙල සිත් වී: “මම ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් ජාතිභූමක උවසුවන් විසින් නෙරණලදයෙම් වෙමි. දැන් කොහි නම් යෙම් දැ”යි. ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහට තෙල සිත් වී: “මම භාග්‍යවතුන් වහන්සේ කරා යෙම් නම්, යෙහෙකැ”යි.