6. 1. 5. 8.
[ඉන්‍ද්‍රියසංවර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, ඉන්‍ද්‍රියසංවර නැති වත් ම ඉන්‍ද්‍රියසංවර රහිතයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සිල් නැති වත් ම ශීලවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැති වත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ තරුණවිදර්‍ශනාසඞ්ඛ්‍යාත යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැති වත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ (බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) නිර්වේදය හා ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) විමුක්තිය හා ප්‍රත්‍යවේක්‍ෂාඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
මහණෙනි, අතුපතර නැති රුකෙක යම්බඳු වේ ද, එහි පතුරුත් පරිපූර්‍ණත්‍වයට නො යෙයි. සිවි දූ පරිපූර්‍ණත්‍වයට නො යෙයි. බොරු දු පරිපූර්‍ණත්‍වයට නො යෙයි. හර දු පරිපූර්‍ණත්‍වයට නො යෙයි. මහණෙනි, එ පරිදි ම ඉන්‍ද්‍රියසංවර නැති වත් ම ඉන්‍ද්‍රියසංවරවිපන්නයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි … විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
මහණෙනි, ඉන්‍ද්‍රියසංවරය ඇති වත් ම ඉන්‍ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇති වත් ම ශීලසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය (තරුණ විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය (බලවත් විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය (අර්‍හත්ඵල - ප්‍රත්‍යවේක්‍ෂාඥානය) උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
මහණෙනි, අතුපතර සපන් රුකෙක් යම්සේ වේ ද, එහි පතුරු ද පරිපූර්‍ණත්‍වයට යෙයි, සිවි දු පරිපූර්‍ණත්‍වයට යෙයි, බොරු ද පරිපූර්‍ණත්‍වයට යෙයි. හර දු පරිපූර්‍ණත්‍වයට යෙයි. මහණෙනි, එපරිදි ම ඉන්‍ද්‍රියසංවරය ඇති වත් ම ඉන්‍ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යයි.
6. 1. 5. 9.
[ආනන්‍ද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
51. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මහණ කෙතෙක් කරුණින් නො ඇසූ දහමුන් අසා ද? ඔහු විසින් ඇසූ දහමුත් වනසට නො යේ ද? ඔහු විසින් යම් ධර්‍මකෙනෙක් සිතින් පහස්නාලද විරූහු නම්, එ දහම්හු දු මනෝද්වාරයෙහි හැසිරෙත් ද? නො දත් කරුණුත් හේ දන්නේ දැ?යි.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බහ්‍රශ්‍රැතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට ම තෙල කරුණ වැටහේවයි.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, එ හෙයින් ම අසනු මැනැවැ. මොනොවට මෙනෙහි කළ මැනැවැ. කියමි යි. ඇවැත්නි, එසේ යයි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ සූත්‍ර, ගෙය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්‍ම, වෙදල්ල යන ධර්‍මය පිරිවහයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කෙරෙයි, අනුවිචාර කෙරෙයි, සිතින් විමසා බලයි. යම් ආවාසයෙක්හි බහුශ්‍රුත වූ අධිගත (දීඝාදි) ආගම ඇති, ධර්‍මධර වූ විනයධර වූ මාතිකා (ප්‍රාතිමෝක්‍ෂ) ධර වූ තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළඹ “වහන්ස, මෙ කිසේ ය, මෙ භාෂිතයාගේ අරුත් කවරැ”යි පරිපෘච්ඡා කෙරෙයි. පරිතුලනා කෙරෙයි. ඔහට එ ආයුෂ්මත්හු අවිවෘත වූ දැය ද විවෘත කෙරෙත්. නො පළට දැය ද පළට කෙරෙත්. සැකයට කරුණු වූ නන්වැදෑරුම් ධර්‍මයෙහි සැක ද දුරු කෙරෙත්.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙතෙක් කරුණින් මහණ අශ්‍රැත ධර්‍මයත් අසයි. ඔහු විසින් ශ්‍රැතධර්‍මයෝත් වනසට නො යෙත්. උහු විසින් යම් ධර්‍ම කෙනෙක් පෙර සිතින් පහස්නාලදවිරූ නම් එ ධර්‍මයෝ ද මනෝද්වාරයෙහි හැසිරෙත්. නො දත් කරුණු ද දන්නේ ය යි.