6. 1. 5. 7.
[ඛේම සූත්රය]
49. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද සැවැත් නුවර අන්ධවනයෙහි වසන්නාහ. එකල්හි ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඛේම තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, අර්හත් වූ ක්ෂීණාස්රව වූ, වැසැ නිම වූ බඹසර ඇති, සිවුමඟින් කළ කිස ඇති, බහාතැබූ ත්රිවිධ භාර ඇති, පත් රහත් ඵල ඇති, පරික්ෂීණ භවසංයෝජන ඇති, සම්යග් හේතුයෙන් දැන අර්හත්ඵල විමුක්තියෙහි මිදුනු, යම් එ මහණෙක් වේ නම්, ඔහට “මට ශ්රෙෂ්ඨයෙක් ඇතැ”යි හෝ ‘මට සදෘශයෙක් ඇතැ’යි හෝ ‘මට හීනයෙක් ඇතැ’යි හෝ මෙබඳු (මාන) යෙක් නො වෙයි.
ආයුෂ්මත් ඛේම තෙරණුවෝ මෙය කීහ. ශාස්තෲන් වහන්සේ අනුදත්හ. ඉක්බිති ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ශාස්තෲන් මා වදන් අනුදත්හ’යි හුනස්නෙන් නැගී භාග්යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
ඉක්බිති ආයුෂ්මත් ඛේම තෙරුන් නික්මගිය නොබෝ කල් වත් ම ආයුෂ්මත් සුමන තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“වහන්ස, අර්හත් ක්ෂීණාස්රව වූ වැස නිමකළ බඹසර ඇති, කළ සිවුමග කරණී ඇති, බහාතැබූ ත්රිවිධභාර ඇති, පිළිවෙළින් පත් රහත්බව ඇති, පරීක්ෂීණභවසංයෝජන ඇති, මොනවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, ‘මට ශ්රෙෂ්ඨයෙක් නැතැ’යි හෝ ‘මට සාදෘශයෙක් නැතැ’යි හෝ ‘මට හීනයෙක් නැතැ’යි හෝ යන මෙබඳු මානයෙක් ඔහට නැතැ”යි.
ආයුෂ්මත් සුමන තෙරණුවෝ මෙය සැළකළහ. ශාස්තෲන් වහන්සේ අනුදත්හ. ඉක්බිති ආයුෂ්මත් සුමන තෙරණුවෝ ‘මා වදන් ශාස්තෲහු අනුදත්හ’යි හුනස්නෙන් නැඟී භාග්යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ඛේම තෙරුන් ද ආයුෂ්මත් සුමන තෙරුන් ද නික්මගිය නොබෝ කල් ඇතිවත් ම, භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, මෙසෙයින් ම කුලපුත්රයෝ අර්හත්වය පාළ කෙරෙති. අර්ත්ථය ද කියන ලද. තෙමේ ද අනුපනීත වෙයි. වැලිත් මෙ සස්නෙහි ඇතැම් තුච්ඡපුරුෂයෝ සිනාසෙන්නවුන් සෙයින් අර්හත්ත්වය පාළ කෙරෙත්. උහු පසු දුකට පත් වන්නාහ යි.
49. ශ්රේෂ්ඨ පුද්ගලයන් කෙරෙහි දු හීන පුද්ගලයන් කෙරෙහි දු සම පුද්ගලයන් කෙරෙහි දු මානයෙන් නො එළඹෙත්. ජාතිය ක්ෂීණ ය. මඟබඹසර වැස නිමවනලද. ඒ රහත්හු සංයෝජනයන්ගෙන් විමුක්ත ව හැසිරෙත්.
6. 1. 5. 8.
[ඉන්ද්රියසංවර සූත්රය]
[සැවැත්නිදාන යි]
50. මහණෙනි, ඉන්ද්රියසංවර නැති වත් ම ඉන්ද්රියසංවර රහිතයාගේ ශීලය නට උපනිඃශ්රය ඇති වෙයි. සිල් නැති වත් ම ශීලවිපන්නයාගේ සම්යක්සමාධිය නට උපනිඃශ්රය ඇති වෙයි. සම්යක්සමාධිය නැති වත් ම සම්යක්සමාධිවිපන්නයාගේ තරුණවිදර්ශනාසඞ්ඛ්යාත යථාභූතඥානදර්ශනය නට උපනිඃශ්රය ඇති වෙයි. යථාභූතඥානදර්ශනය නැති වත් ම යථාභූතඥානදර්ශනවිපන්නයාගේ (බලවත් විදර්ශනා සඞ්ඛ්යාත) නිර්වේදය හා ආර්ය්යමාර්ග සඞ්ඛ්යාත විරාගය නට උපනිඃශ්රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ (අර්හත්ඵල සඞ්ඛ්යාත) විමුක්තිය හා ප්රත්යවේක්ෂාඥාන සඞ්ඛ්යාත ඥානදර්ශනය නට උපනිඃශ්රය ඇති වෙයි.
මහණෙනි, අතුපතර නැති රුකෙක යම්බඳු වේ ද, එහි පතුරුත් පරිපූර්ණත්වයට නො යෙයි. සිවි දූ පරිපූර්ණත්වයට නො යෙයි. බොරු දු පරිපූර්ණත්වයට නො යෙයි. හර දු පරිපූර්ණත්වයට නො යෙයි. මහණෙනි, එ පරිදි ම ඉන්ද්රියසංවර නැති වත් ම ඉන්ද්රියසංවරවිපන්නයාගේ ශීලය නට උපනිඃශ්රය ඇතියේ වෙයි … විමුක්තිඥානදර්ශනය නට උපනිඃශ්රය ඇතියේ වෙයි.