6. 1. 5. 6.
[දුතියසන්‍දිට්ඨික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ:
‘භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සන්‍දිට්ඨික ය, ධර්‍මය සන්‍දිට්ඨික ය’යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කවර කරුණෙකින් ධර්‍මය සාන්දෘෂ්ටික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතුත් වේ දැ?’යි.
බ්‍රාහ්මණය, එකරුණෙන් ම මෙහි ලා තා මැ පුළුවුස්නෙමි. තට යම් පරිදි රුස්නේ නම් එ පරිදි පාළ කරව’යි. බ්‍රාහ්මණය, එ කිමැ’යි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇතැ”යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැතැ”යි දන්නෙහි දැ?යි.
භවත්නි, එසේ ය.
බ්‍රාහ්මණය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇතැ”යි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ රාගය ‘මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැතැ’යි දන්හි නම්,
බ්‍රාහ්මණය, මෙසෙයින් ධර්‍මය සන්‍දිට්ඨික වෙයි ...
බ්‍රාහ්මණය, එ කිමැයි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ද්වේෂය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මෝහය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කායසන්‍දෝසය (කායද්වාරය කිලිටි වන කරුණ) ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ වචීසන්‍දොසය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය ඇතැ’යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය නැතැ’යි දන්හි දැ?යි.
භවත්නි, එසේ ය.
බ්‍රාහ්මණය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ (-පෙ-) මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය ඇතැ’යි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය නැතැ’යි දන්හි නම්,
බ්‍රාහ්මණය, මෙලෙසින් ධර්‍මය සන්‍දිට්ඨික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතු වේ ය යි.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණගිය උපාසකයකු කොට ධරණ සේක්ව යි.
6. 1. 5. 7.
[ඛේම සූත්‍රය]
49. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද සැවැත් නුවර අන්‍ධවනයෙහි වසන්නාහ. එකල්හි ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඛේම තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ, වැසැ නිම වූ බඹසර ඇති, සිවුමඟින් කළ කිස ඇති, බහාතැබූ ත්‍රිවිධ භාර ඇති, පත් රහත් ඵල ඇති, පරික්‍ෂීණ භවසංයෝජන ඇති, සම්‍යග් හේතුයෙන් දැන අර්‍හත්ඵල විමුක්තියෙහි මිදුනු, යම් එ මහණෙක් වේ නම්, ඔහට “මට ශ්‍රෙෂ්ඨයෙක් ඇතැ”යි හෝ ‘මට සදෘශයෙක් ඇතැ’යි හෝ ‘මට හීනයෙක් ඇතැ’යි හෝ මෙබඳු (මාන) යෙක් නො වෙයි.
ආයුෂ්මත් ඛේම තෙරණුවෝ මෙය කීහ. ශාස්තෲන් වහන්සේ අනුදත්හ. ඉක්බිති ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ශාස්තෲන් මා වදන් අනුදත්හ’යි හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.