6. 1. 5. 5.
[පඨමසන්‍දිට්ඨික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. එකල්හි මොලියසීවක පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් මොලියසීවක පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය:
“වහන්ස, ධර්‍මය සාන්දෘෂ්ටික ය, ධර්‍මය සාන්දෘෂ්ටික ය”යි කියනු ලැබේ. වහන්ස, කවර කරුණෙකින් ධර්‍මය සාන්දෘෂ්ටිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුත් වේ දැ?යි.
සීවකය, මෙ කරුණෙන්ම මෙහි ලා තා මැ පුළුවුස්නෙමි. යම් පරිදි තට රුස්නේ නම්, එපරිදි එය ප්‍රකාශ කරව’යි. සීවකය, එ කිමැයි හඟිහි? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය ඇතැ”යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ ම ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය නැතැ”යි දන්හි දැ’?යි.
වහන්ස, එසේ ය.
සීවකය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය ඇතැ”යි දන්හි නම්, අවිද්‍යමාන වූ ම ලෝභය මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය නැතැයි දන්හි නම්,
සීවකය, මෙසේ ධර්‍මය සාන්දෘෂ්ටික (තමන් විසින් දතයුතු) වේ ...
සීවකය, එ කිමැයි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ද්වේෂය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මෝහය ..... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ලෝභධර්‍මය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම ද්වේෂධර්‍මය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම මෝහධර්‍මය “මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය ඇතැ”යි දන්හි ද, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය නැතැ”යි දන්හි දැ’යි.
වහන්ස, එසේ ය.
සීවකය, යම් හෙයෙකින්, අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය ඇතැයි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය නැතැ”යි දන්හි නම්,
සීවකය, මෙසේ ම ධර්‍මය සන්‍දිට්ඨික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුද වන්නේ ය යි.
ඉතා මැනැවැ ... භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරණසේක්වා යි.
6. 1. 5. 6.
[දුතියසන්‍දිට්ඨික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ:
‘භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සන්‍දිට්ඨික ය, ධර්‍මය සන්‍දිට්ඨික ය’යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කවර කරුණෙකින් ධර්‍මය සාන්දෘෂ්ටික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතුත් වේ දැ?’යි.
බ්‍රාහ්මණය, එකරුණෙන් ම මෙහි ලා තා මැ පුළුවුස්නෙමි. තට යම් පරිදි රුස්නේ නම් එ පරිදි පාළ කරව’යි. බ්‍රාහ්මණය, එ කිමැ’යි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇතැ”යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැතැ”යි දන්නෙහි දැ?යි.
භවත්නි, එසේ ය.