6. 1. 5. 4.
[මහාචුන්‍ද සූත්‍රය]
46. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ චේතිරට සහජාති නම් නියම්ගම්හි වෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ භික්‍ෂුහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන්හට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ තෙල දෙසූහ:
(1) ඇවැත්නි, මෙ සස්නෙහි ධර්‍මකථික භික්‍ෂුහු භාවනානුයෝගී භික්‍ෂූන් ඝටා බෙණෙත්. “මොහු ‘(අපි) දැහැන් වඩන්නමෝ’යි දැහැන් වඩන්නමෝ’යි සිතත්. ප්‍රකර්‍ෂයෙන් සිතත්. මොහු කුමක් නම් ධ්‍යාන කෙරෙත් ද, මොහු කුමක් පිණිස නම් ධ්‍යාන කෙරෙත් ද, මොහු කිනම් කරුණෙකින් ධ්‍යාන කෙරෙත් දැ”යි. එකරුණෙහි ලා ධර්‍මකථික භික්‍ෂුහු ද නො පහදනාහ. ධ්‍යාන කරන භික්‍ෂූහු ද නො පහදනාහ. ඔහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස දෙව් මිනිස්නට සුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
(2) “ඇවැත්නි, මෙ සස්නෙහි දැහැන් වඩන මහණහු ධර්‍මකථිකභික්‍ෂූන් අපසාදනය කෙරෙති: මොහු වනාහි ‘අපි ධර්‍මයෝගියමෝ වම්හයි, අපි ධර්‍මයෝගියමෝ වම්හ’යි, උඬගු වූවාහු උද්ගත මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු විසිරුණු තෙපුල් ඇතියාහු නට සිහි ඇතියාහු මනා නුවණ නැතියාහු එකඟ සිත් නැතියාහු බමණ සිත් ඇතියාහු පියවි (නො දැමුනු) ඉඳුරන් ඇතියාහු වෙති. මොහු කුමන ධර්‍මයෝගයක් ඇත්තාහු ද, මොහු කුමක් පිණිස ධර්‍මයෝග ඇත්තාහු ද, මොහු කිනම් කරුණෙකින් ධර්‍මයෝග ඇත්තාහු දැ”යි. එ කරුණෙහි ලා ධ්‍යාන කරණසුලු භික්‍ෂූහු ද නො පහදිති. ධර්‍මයෝග භික්‍ෂූහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
(3) ඇවැත්නි, මෙ සස්නෙහි ධර්‍මයෝග භික්‍ෂුහු ධර්‍මයෝග භික්‍ෂූන්ගේ ම ගුණ කියති. ධ්‍යායී භික්‍ෂූන්ගේ ගුණ නො කියත්. එකරුණෙහි ලා ධර්‍මයෝග භික්‍ෂුහු ද නො පහදිති, ධ්‍යායීභික්‍ෂුහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස නො පිළිපන්හු වෙත්.
(4) ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ධ්‍යායී භික්‍ෂූන්ගේ ම ගුණ කියති. ධර්‍මයෝග භික්‍ෂුන්ගේ ගුණ නො කියත්. එකරුණෙහි ලා ධ්‍යායී භික්‍ෂුහු ද නො පහදිති. ධර්‍මයෝග භික්‍ෂුහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිතසුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
(5) ඇවැත්නි, එහෙයින් මෙ කරුණෙහි ලා මෙසේ හික්මියයුතු: ධර්‍මයෝග වූ ම අපි ධ්‍යායී භික්‍ෂූන්ගේ ගුණ වනන්නම්හ’යි. ඇවැත්නි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි. ඒ කවරහෙයින් යත්: ඇවැත්නි, යම් කෙනෙක් අමෘත නිර්‍වාණධාතුව නාමකයින් පැහැසැ වෙසෙත් නම්, එ පුද්ගලයෝ දුලබ වෙත් මැ යි.
(6) ඇවැත්නි, එහෙයින් ම මෙ කරුණෙහි ලා මෙසේ හික්මිය යුතු යි. ‘ධ්‍යායී වූ ම අපි ධර්‍මයෝග භික්‍ෂූන්ගේ ගුණ කියම්හ’යි. ඇවැත්නි, තොප විසින් මෙසේ ම හික්මියයුතු. එ කවර හෙයින යත්: ඇවැත්නි, ලොව්හි යම් කෙනෙක් ගැඹුරු ස්කන්‍ධධාතු ආදි අර්‍ත්‍ථපද විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් විනිවිද දක්නාහු නම් එ පුද්ගලයෝ දුර්‍ලභ වෙත් මැ යි.
6. 1. 5. 5.
[පඨමසන්‍දිට්ඨික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. එකල්හි මොලියසීවක පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් මොලියසීවක පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය:
“වහන්ස, ධර්‍මය සාන්දෘෂ්ටික ය, ධර්‍මය සාන්දෘෂ්ටික ය”යි කියනු ලැබේ. වහන්ස, කවර කරුණෙකින් ධර්‍මය සාන්දෘෂ්ටිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුත් වේ දැ?යි.