6. 1. 5. 3.
[ඉණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. (1) මහණෙනි, ලොව්හි කාමභෝගීහට දිළිඳුබව දුකෙක් දැ?යි.
වහන්ස, එසේ ය.
(2) මහණෙනි, යම් හෙයෙකින් ස්වාපතෙය රහිත (තමන් අයත් ධනය නැති) අනාඪ්‍ය වූ (පොහොසත් නො වූ) දිළින්දෙක් (දිවි වැටුම් පිණිස) ණය ගන්නේ නම්, මහණෙනි, ලොව්හි ඒ කාමභෝගීහට ණය ගැණුම ද දුකෙක් දැ?යි.
වහන්ස එසේ ය.
(3) මහණෙනි, යම් හෙයෙකින් ස්වධන රහිත අනාඪ්‍ය වූ දිළින්දෙක් ණය ගෙණ වෘද්ධිය (=පොලිය) පිළිණ කෙරේ. මහණෙනි වෘද්ධිය ද ලොව්හි ඒ කාමභෝගීහට දුකෙක් ද?
වහන්ස, එසේ ය.
(4) මහණෙනි, යම් හෙයෙකින් අස්වක වූ (ධන නැති) අනාඪ්‍ය වූ (බැරි) දිළින්දෙක් වෘද්ධිය පිළිණ කොට නිසි කල්හි අළ (දීමට ප්‍රතිඥාත) වෘද්ධිය නො දේ නම්, ඔහුට චෝදනා ද කෙරෙත්. මහණෙනි, ලොව්හි ඒ කාමභෝගීහට චෝදනාත් දුකෙක් ද?
වහන්ස, එසේ ය.
(5) මහණෙනි, යම් හෙයෙකින් අස්වක අනාඪ්‍ය දිළිඳු තෙමේ චෝදනා කරණු ලබන්නේ නො දෙයි. මහණෙනි, ඔහු (පිරිස් මැද නිගනිමින්) ලුහුබඳනාහ. මහණෙනි, ලොව්හි කාමභෝගීහට ලුහුබැඳුමුත් දුකෙක් ද?
වහන්ස, එසේ ය.
(6) මහණෙනි, යම්හෙයෙකින් අස්වක අනාඪ්‍ය දිළින්දෙක් ලුහුබඳනා ලබනුයේ නො දෙයි. ඔහු සොරගෙයි දු බඳනාහ. මහණෙනි, ලොව්හි කාමභෝගීහට බන්‍ධනයත් දුකෙක් දැ?යි.
වහන්ස, එසේ ය.
මහණෙනි, මෙසෙයින් කාමභෝගීහට ලොව්හි දිළිඳුබවත් දුකෙක, ණය ගැණුමත් ලොව්හි කාමභෝගීහට දුකෙක. වෘද්ධියත් ලොව්හි කාමභෝගීහට දුකෙක. චෝදනාත් ලොව්හි කාමභෝගීහට දුකෙක. ලුහුබැඳුමුත් ලොව්හි කාමභෝගීහට දුකෙක, බන්‍ධනයත් ලොව්හි කාමභෝගීහට දුකෙක.
මහණෙනි, එපරිදි ම යම් කිසිවකුහට කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නැද්ද, කුශලධර්‍මයෙහි හිරි නැද්ද, කුශලධර්‍මයෙහි ඔතප් නැද්ද, කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නැද්ද, කුශලධර්‍මයෙහි ප්‍රඥා නැද්ද, මහණෙනි, මෙතෙමේ තමා සතු ගුණ නැතියේ ගුණයෙන් ආඪ්‍ය නො වූයේ දිළිඳු යයි ආර්‍ය්‍ය විනයෙහි කියනු ලැබේ. මහණෙනි, අස්වක වූ අනාඪ්‍ය වූ එ මෙ දිළිඳු තෙම කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නැති වත් ම කුශලධර්‍මයෙහි හිරි නැතිවත් ම කුශලධර්‍මයෙහි ඔතප් නැති වත් ම කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නැති වත් ම, කුශලධර්‍මයෙහි ප්‍රඥා නැති වත් ම, කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. මෙ ඔහුගේ ණය ගැණුම යයි කියමි.
හේ ඒ කායදුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදනහේතුයෙන් ලාමක ඉච්ඡාව පිහිටුවයි. ‘මා නහමක් දනීව’යි කැමති වෙයි. ‘මා නහමක් දනීව’යි සඞ්කල්පනා කෙරෙයි. ‘මා නහමක් දනීව’යි වදන් බෙණෙයි. ‘මා නහමක් දනීව’යි කයින් පැරකුම් කෙරෙයි. හේ ඒ වාග්දුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදන හේතුයෙන් ... හේ ඒ මනෝදුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදන හේතුයෙන් ලමු ඉච්ඡා පිහිටුවයි. ‘මා නහමක් දනීව’යි කැමැති වෙයි. ‘මා නහමක් දනීව’යි සඞ්කල්පනා කෙරෙයි. ‘මා නහමක් දනීව’යි වදන් බෙණෙයි. ‘මා නහමක් දනීව’යි කයින් පැරකුම් කෙරෙයි. මේ ඔහුගේ වෘද්ධි යයි. (පොලීපිළිණ යයි) කියමි.
ඔහුට ප්‍රියශීල සබ්‍රම්සරහු මෙසේ කියත්: ‘එ මෙ ආයුෂ්මත් මෙසේ කරණසුලු ය. මෙබඳු සමාචාර ඇතියෙකැ’යි මෙ ඔහුට චෝදනා යයි කියමි.
අරණ්‍යගත වේවයි, වෘක්‍ෂමූලගත වේවයි, ශුන්‍යාගාරගත වේවයි, ඔහුට විපිළිසර සහගිය ලමු අකුශල විතර්‍කයෝ පහළ වෙත්. මෙ ඔහුට අනුචරියා යයි (ලුහුබැඳුම්) යයි කියමි.
මහණෙනි, අස්වක වූ අනාඪ්‍ය වූ එ දිළිඳු තෙමේ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත්කොට කාබුන් මරණින් මතු නිරෑබැඳුම්හි හෝ බැඳෙයි. තිරිසන්යොන්බැඳුම්හි හෝ බැඳෙයි.
මහණෙනි, අනුත්තරයෝගක්‍ෂේමාධිගමය සඳහා යම් ම ධර්‍මයෙක් මෙසේ දරුණු වේ නම්, මෙසේ කටුක වේ නම්, මෙසේ අන්තරායකර වේ නම්, මහණෙනි, මෙ නිරෑබැඳුම හෝ මෙ තිරිසන්යොන්බැඳුම හෝ යම් පරිදි වේ නම්, එබඳු අන් එක ද දහමක් මම නුවණැසින් නො දක්මි.
34. ලොව්හි දිළිඳු බව ද ණය ගැණුම ද දුකැයි කියනු ලැබේ. දිළිඳු වූයේ ණය ගෙණ වළඳ කරණුයේ වැනසේ.
35. එහෙයින් ඔහු (ගැරහීම් විසින්) ලුහුබඳිත්. (නිරයාදියෙහි) බැඳුමට ද යෙයි. කාමලාභ පතනුවනට තෙල බැඳුම දුක් මැයි.
36. එසෙයින් ම ආර්‍ය්‍යවිනයෙහි යමකුට ශ්‍රද්ධා නැද්ද, හිරි නැද්ද, ඔතප් නැද්ද, පව්කම්හි විනිශ්චය නැද්ද,
37. හේ කායදුශ්චරිත හා වාග්දුශ්චරිත කොට, මනෝදුශ්චරිත ද කොට ‘මා නහමක් දනීව’යි කැමැති වේ.
38. හෙ ඒ ඒ තැන්හි පුන පුනා පව්කම් වඩනුයේ, කයින් වදනින් වැලිදු සිතින් සැලෙයි.
39. දුර්මේධ වූ පවුකම් ඇති හේ තමන්ගේ දුෂ්කෘත දන්මින්, දිළිඳු වූයේ ණය ගෙණ වළඳ කෙරෙමින් වැනසෙයි.
40. එහෙයින් යමකුට විපිළිසරින් හටගත් දුක් වූ මානසිකසඞ්කල්පයෝ වෙත් නම්, ඔහු ගම්හි වේවයි, වැලිත් වල්හි වේවයි ඒ පුඟුල් ලුහුබඳිත්.