6. 1. 5. 2.
[මිගසාලා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙණ මිගසාලා උපාසිකාවගේ නිවස කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි හුන්හ. ඉක්බිති මිගසාලා උපාසිකා ආනන්‍ද තෙරුන් කරා එළැඹියා ය. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සකසා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හුන් මිගසාලා උපාසිකා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට තෙල කරුණ සැළකළා:
වහන්ස ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරිලොව්හි සමභාවයෙන් සමගති ඇති වූහු නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මේ ධර්‍මය කෙසේ නම් (කවර නම් කරුණෙකින් අප විසින්) දතයුතු වේ ද?
වහන්ස, මපියානෝ පුරාණයෝ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියාහු වෙන් වූවාහු බ්‍රහ්මචාරී වූහු. “උහු සකෘදාගාමි සත්ත්‍ව වූහු ය, කලුරිය කළාහු තුසිතදේවකායට එළැඹියාහු”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘතය. වහන්ස, මාගේ ඍෂිදත්ත නමැති පිතෘව්‍යයෙක් (=සුලුපියෙක්) ද ස්වදාරයන් හා සතුටු වූයේ බ්‍රහ්මචාරී නො වී ය. හෙ ද සකෘදාගාමී සත්ත්‍ව වූයේ කලුරිය කළේ තුසිතකායට එළැඹියැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. (ප්‍රකාශිතය.)
වහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇතිවූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ ධර්‍මය කිසෙයින් දතයුත්තේ දැ’?යි.
බුහුනනියනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසෙයින් ම තෙල ව්‍යාකෘත ය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මිගසාලා උවැසියගේ නිවෙස්නෙහි පිණ්ඩපාතය ගෙණ හුනස්නෙන් නැඟී වැඩියහ. එකල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පසුබත්හි පිඬුවායෙන් වැළකියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, මම පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ මෙ සැවැත්හි මිගසාලා උවැසියගේ නිවෙස්නට එළඹියෙමි. එළඹ පැන වූ අස්නෙහි හුන්මි. වහන්ස, ඉක්බිති මිගසාලා උපාසිකා මා කරා එළඹියා. එළඹ මා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හිඳ මිගසාලා උවැසි මට තෙල පැවැසූ:
වහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇත්තාහු වූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ දහම් කිසෙයින් කිසෙයින් දතයුතු ද? වහන්ස, මපියානෝ පුරාණයෝ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළැකියාහු දුරු වූවාහු බ්‍රහ්මචාරී වූහ. “සකෘදාගාමි පුද්ගල වූ උහු කාලක්‍රියා කළාහු තුසිතදේවකායට එළඹියහ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, මාගේ පිතෘව්‍යයෙක් (සුළුපියෙක්) වූ ඉසිදත්ත අබ්‍රහ්මචාරී වූයේ ස්වදාරයන් හා සන්තුෂ්ට වී ය. “හේ ද සකෘදාගාමී පුද්ගල වූයේ කලුරිය කළේ තුසිතකායට එළඹියැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇති වූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ ධර්‍මය කිසෙයින් කිසෙයින් දතයුතු දැ?’යි.
වහන්ස, මෙසේ කී කල්හි මම මිගසාලා උවැසියට තෙල කීමි: “බුහුනනියනි, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල මෙසෙයින් ම ව්‍යාකෘත ය”යි.
ආනන්‍දයෙනි, මාගම් වූ මාගම්නුවණින් සමන්‍වාගත වූ බාල වූ මිගසාලා උවැසි කවර? පුරුෂපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙහි නො පැකිළ පවත්නා නුවණ ඇති තථාගතයෝ කවරහ?
ආනන්‍දයෙනි, මෙ පුඟුලෝ සදෙනෙක් ලොව විද්‍යමානයහ. කවර සදෙනෙක යත්:
ආනන්‍දයෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සුඛසංවාස ඇතියේ මැනැවින් සුරත වෙයි. සබ්‍රම්සරහු (උහු හා) ඒකතෝවාසයෙන් තුස්නාහ. උහු විසින් කණින් ඇසියයුතු දැය ද නො අසනලද වෙයි. (වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) බහුශ්‍රැතභාවයෙන් කළමනා දැය ද නො කරනලද වෙයි. සම්‍යක්දෘෂ්ටියෙන් පිළිවිදිය මනා දැය ද නො පිළිවිදිනාලද වෙයි. සාමයිකවිමුක්තිය (කලින් කල ධර්‍මශ්‍රවණය නිසා ලබන ප්‍රීති ප්‍රාමෝද්‍යය) ද නො ලබන්නේ වෙයි. හේ කාබුන් මරණින් මතු පරිහානියට ම යෙයි. විශේෂයට නො යෙයි. හානගාමියෙක් ම වෙයි. විශේෂගාමියෙක් නො වෙයි. (1)