6. 1. 5. 1.
[නාග සූත්රය]
43. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ සැවැත් නුවර පිඬු පිණිස වන්සේක. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා වැඩියාහු ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමැතූසේක:
ආනන්දයෙනි, දිවාවිහාර සඳහා යම්හ, පුබ්බාරාම නම් වූ මුවරමාපහය කරා එළැඹෙන්නමෝවයි.
“එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් හා සමග පුබ්බාරාම නම් වූ මිගාරමාතුපාසාදය කරා එළැඹි සේක.
එකල්හි භාග්යවතුන් වහන්සේ සවස්කල්හි පිළිසලනින් නැගිසේක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමැතූහ:
“ආනන්දයෙනි, සිරිරු සිලිලින් සනහන්නට පූර්වකෝෂ්ඨය (පුබ්බකොට්ඨක නම් නහනතොට) කරා යම්හ”යි.
“එසේය වහන්සැ”යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිතුරු ඇස්සූහ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් හා (පන්සියක් භික්ෂූන්) සමග පූර්වකෝෂ්ඨකය කරා ගාත්රපරිෂේකයට (නහන පිණිස) වැඩිසේක. පූර්වකොෂ්ඨකයෙහි සිරිරු නහවා ගොඩවී ඒකචීවර වූ සේක් (හඳනය පමණක් හැඳ) සිරිරු දියසිඳුවමින් සිටිසේක.
එසමයෙහි පසේනදි කොසොල් මහරජුගේ ‘සෙත’ නම් ඇත්රජ මහාතූර්ය්යතාලම්-වාදයෙන් පූර්වකෝෂ්ඨයෙන් ගොඩ එන්නේ ය. එසේ වත් ම, ජනයා ඔහු දැක මෙසේ කියයි:
භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ මහානාගයා (ඇත්රජ) අභිරූප වෙයි. භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ ඇත්රජ දර්ශනීයය. භවත්නි, මහරජුගේ මෙ ඇත්රජ ප්රාසාදික ය. භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ ඇත්රජ තුනුසපුයෙන් යුතු (පිරිපුන් අඟපසඟ ඇතියේ) ය යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: වහන්ස, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති ඇතක්හු ම දැක, ‘පින්වත්නි, ඒකාන්තයෙන් මහ නාගයෙකැයි කියා ද? නැතහොත්, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟින් යුක්ත වූ අන්කිසිවකුදු දැක, “පින්වත්නි, ඒකාන්තයෙන් මහානාගයෙකැයි කියා දැ?” යි.
උදායියෙනි, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති ඇත්රජකුදු දැක “භවත්නි, ඒකාන්තයෙන් මහානාගයෙක” යනු කියයි. උදායියෙනි, අශ්වයකුදු ... උදායියෙනි, ගොනකුදු ... උදායියෙනි, උරගයකුදු ... උදායියෙනි, වෘක්ෂයකුදු ... උදායියෙනි, ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති මනුෂ්යයකුදු දැක ජනයා “භවත්නි, ඒකාන්තයෙන් මහානාගයෙක” යනු කියයි. වැලිත් උදායියෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්වාඛ්ය ප්රජායෙහි යමෙක් ආගු සඞ්ඛ්යාත ලමු අකුසල්දම් කයින් වචසින් මනසින් නො කෙරේ නම්, මම ඔහු ‘නාග’ යයි කියමියි.
වහන්ස, අසිරි ය! වහන්ස අද්භූත ය!! වහන්ස භාග්යවතුන් වහන්සේ විසින් මෙය සුභාෂිත ම ය: “වැලිත් උදායියෙනි දෙවිබඹුන් සියෝ මරුන් සියෝ ලෝකයෙහි, මහණබමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ ප්රජායෙහි යමෙක කාවිසිමුනි තුන්දොරින් පව් නො කෙරේ ද, මම උහු නාගයහයි කියමි”යි වදාළසේක.
වහන්ස, මම භාග්යවතුන් වහන්සේගේ මේ සුභාෂිතය මේ ගාථායෙන් අනුමෝදන් වෙමි:
18. මනුෂ්ය වූ මැ තමා විසින් දැමුනු (ද්විවිධ සමාධියෙන්) සමාහිත වූ නිර්වාණමාර්ගයෙහි වසන (ධ්යානයෙන්) චිත්තව්යුපශමයෙහි නියැලුනු,
19. ස්කන්ධාදි සර්වධර්මඥානයෙහි පාරප්රාප්ත වූ යම් බුද්ධනාගයකු මනුෂ්යයෝ නමදිත් නම්, ඒ බුදුන් දෙවියෝ ද නමදිත් ය යනු අර්හත් වන මුබ වෙත මා විසින් අසනලදී.
20. සර්වසංයෝජනයන් ඉක්මගිය (කෙලෙස්) වනයෙන් නිවනට පැමිණි, (ආර්ය්යමාර්ග සඞ්ඛ්යාත) නෛෂ්ක්රම්යයෙහි අභිරත වූ ශෛලපර්වතයෙන් ගුළු රනක් සෙයින් කාමයෙන් මුක්ත වූ උන්වහන්සේ දෙවියෝ නමදිත්.
21. අන්ය පර්වතයන් ඉක්මවා දිලෙන හිමවත් පර්වතය සෙයින් බුද්ධනාග තෙම හැම නාගයන් මැඩැගෙණ වොරඳනා රුචි (බැබැළුම්) ඇතියේ ය. හැම නාගනාම ඇතියන් අතුරෙහි (පව් නො කරන හෙයින්) සත්ය වූ නාග නාම ඇති බුදුතෙම අනුත්තර වෙයි.
22. තොපට නාගයා කීර්තනය කරමි: හෙ (අකුශලධර්මසඞ්ඛ්යාත) ආගු නො කෙරෙයි. (ශුචිශීලසඞ්ඛ්යාත) සුරතභාවය ද, (කරුණා හා කරුණාපූර්වභාගසඞ්ඛ්යාත) අවිහිංසාව ද බුද්ධනාග වූ ඔබගේ (පෙර) දෙපා වෙයි.
23. (ධුතසමාදාන සඞ්ඛ්යාත) තපස ද, (ආර්ය්යමාර්ගශීල සඞ්ඛ්යාත) බ්රහ්මචර්ය්යය ද නාග වූ ඔබගේ අපර වූ චරණ (පසුබා) දෙක යි. මහාබුද්ධනාග තෙම ශ්රද්ධා නැමැති සොඬ ඇතියේ ෂඩඞ්ගෝපේක්ෂා සඞ්ඛ්යාත ශ්වේතදන්ත ඇතියේ ය.
24. එ බුද්ධනාගයාගේ ග්රීවාව ස්මෘති ය යි. ශීර්ෂය (සර්වඥතා නැමැති) ප්රඥා යි. ධර්මචින්තාව (ධර්ම කොටස් පිරිසිඳ දන්නා ඥානය) මීමාංසා (සොඬ අග) යි. (චතුර්ත්ථධ්යාන සඞ්ඛ්යාත) ධර්මය ම (ඍද්ධිවිධාදි අභිඥාබලරාශිභූතස්ථාන හෙයින්) කුක්ෂිසමාවාප නම් (උදරය) වෙයි. ත්රිවිධ විවේකය උහුගේ වාලධි ය යි.
25. ධ්යාන කරණසුලු එ බුද්ධනාග ඵලසමාපත්ති සඞ්ඛ්යාත ආශ්වාසයෙහි (ප්රාණයෙහි) නියැලියේ අද්ධ්යාත්මයෙහි මොනොවට සමාහිත ය. බුද්ධනාග යන්නේ ද සමාහිත ම වෙයි. බුද්ධනාග සිටියේ ද සමාහිත ම වෙයි.