6. 1. 4. 9.
[කම්මනිදාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, (වර්‍තතගාමි) කර්‍මයන්ගේ සමුදයට (රැස්වීමට) මෙ නිදාන තුණෙක.
කවර තුණෙක යත්:
කර්‍මයන්ගේ සමුදයට ලෝභය නිදානයෙකි. කර්‍මයන්ගේ සමුදයට ද්වේෂය නිදානයෙකි. කර්‍මයන්ගේ සමුදයට මෝහය නිදානයෙකි.
මහණෙනි, ලෝභයෙන් අලෝභය නූපදනේ ය. වැලිත් මහණෙනි, ලෝභයෙන් ලෝභය මැ උපදනේ ය. මහණෙනි, ද්වේෂයෙන් අද්වේෂය නූපදනේ ය. වැලිත් මහණෙනි, ද්වේෂයෙන් ද්වේෂය ම උපදනේ ය. මහණෙනි, මෝහයෙන් අමෝහය නූපදනේ ය. මහණෙනි, වැලිත් මෝහයෙන් මෝහය ම උපදනේ ය.
මහණෙනි, ලෝභයෙන් උපන් කර්‍මයෙන්, ද්වේෂයෙන් උපන් කර්‍මයෙන්, මෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ නො පැණෙත්. මනුෂ්‍යයෝ නො පැණෙත්. යම්බඳු අනෙකුදු සුගතිහු නො පැණෙත්.
වැලිත් මහණෙනි, ලෝභජකර්‍මයෙන්, ද්වේෂජකර්‍මයෙන්, මෝහජකර්‍මයෙන් නිරය පැණෙයි. තිරිසන් යොන් පැණෙයි. ප්‍රේත විෂය පැණෙයි. අනෙක් කිසි දුගතිහුදු පැණෙති.
මහණෙනි, කර්‍මයන්ගේ සමුදයට මෙ නිදාන තුණ යි.
මහණෙනි, කර්‍මයන්ගේ සමුදයට මෙ නිදාන තුණෙකි. කවර තුණෙක යත්:
කර්‍මයන්ගේ සමුදය සඳහා අලෝභය නිදානයෙක. කර්‍මයන්ගේ සමුදය සඳහා අද්වේෂය නිදානයෙක. කර්‍මයන්ගේ සමුදය සඳහා අමෝහය නිදානයෙක.
මහණෙනි, අලෝභයෙන් ලෝභය නූපදනේ ය. වැලිත් මහණෙනි, අලෝභයෙන් අලෝභය ම උපදනේ ය. මහණෙනි, අද්වේෂයෙන් ද්වේෂය නූපදනේ ය. වැලිත් අද්වේෂයෙන් අද්වේෂයම උපදනේ ය. මහණෙනි, අමෝහයෙන් මෝහය නූපදනේ ය. වැලිත් මහණෙනි, අමෝහයෙන් අමෝහය ම උපදනේ ය.
මහණෙනි, අලෝභජ කර්‍මයෙන්, අද්වේෂජ කර්‍මයෙන්, අමෝහජ කර්‍මයෙන්, නිරය නො පැණෙයි. තිරිසන්යොන් නො පැමිණෙයි. ප්‍රේත විෂය නො පැණෙයි. අනෙක් යම් කිසි දුගතිහුදු නො පැණෙති. වැලිත් මහණෙනි, අලෝභජ කර්‍මයෙන්, අද්වේෂජකර්‍මයෙන්, අමෝහජ කර්‍මයෙන් දෙවියෝ පැණෙත්. මනුෂ්‍යයෝ පැණෙත්. යම්බඳු අනෙකුදු කිසියම් සුගතිහු පැණෙත්.
මහණෙනි, කර්‍මයන්ගේ සමුදය සඳහා මෙ නිදාන තුණ යි.
6. 1. 4. 10.
[කිම්බිල සූත්‍රය]
40. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගර සමීපයෙහි වූ මිදෙල් වනයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ශාසන සද්ධර්‍මය යම් හෙයෙකින් චිරස්ථායී නො වේ නම්, එ හේතු කවරේ ය? ඒ ප්‍රත්‍යය කවරේ ය? යි.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි තථාගයන් වහන්සේ පිරිනිවිකල්හි මහණහු මෙහෙණහු උවසුහු උවැසිහු ශාස්තෲන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. ධර්‍මයෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. සඟුන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. ශික්‍ෂායෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. අප්‍රමාදයෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. පිළිසඳරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ.
කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවිකල්හි ශාසන සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, මෙ හේතුය, මෙ ප්‍රත්‍යය යි.
වහන්ස, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසනසද්ධර්‍මය චිරස්ථායී වේ නම්, එ හේතු කවර, එ ප්‍රත්‍යය කවරැයි.