6. 1. 4. 10.
[කිම්බිල සූත්‍රය]
40. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගර සමීපයෙහි වූ මිදෙල් වනයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ශාසන සද්ධර්‍මය යම් හෙයෙකින් චිරස්ථායී නො වේ නම්, එ හේතු කවරේ ය? ඒ ප්‍රත්‍යය කවරේ ය? යි.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි තථාගයන් වහන්සේ පිරිනිවිකල්හි මහණහු මෙහෙණහු උවසුහු උවැසිහු ශාස්තෲන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. ධර්‍මයෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. සඟුන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. ශික්‍ෂායෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. අප්‍රමාදයෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. පිළිසඳරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ.
කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවිකල්හි ශාසන සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, මෙ හේතුය, මෙ ප්‍රත්‍යය යි.
වහන්ස, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසනසද්ධර්‍මය චිරස්ථායී වේ නම්, එ හේතු කවර, එ ප්‍රත්‍යය කවරැයි.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි තථාගතයන් පිරිනිවිකල්හි මහණහු මෙහෙණහු උවසුහු උවැසිහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. ධර්‍මය කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. සඟුන් කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. ශික්‍ෂායෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. අප්‍රමාදයෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. පිළිසඳරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ.
කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, මෙ ඒ හේතු ය, මෙ ඒ ප්‍රත්‍යය යි.
6. 1. 4. 11.
[දාරුක්ඛන්‍ධ සූත්‍රය]
41. මා විසින් මෙසේ අසනලද. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ රාජගහ සමීපයෙහි ගිජ්ඣකූට පර්‍වතයෙහි වාස කරත්.
එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ බොහෝ වහන්දෑ හා සමග ගිජුකුළුපව්යෙන් බස්නාහු අන්‍යතරප්‍රදේශයෙක්හි මහ දැවකඳක් දුටහ. දැක භික්‍ෂූන් ඇමැතූහ. “ඇවැත්නි, තෙපි තෙල මහදැවකඳ දක්නහු දැ?”යි.
“එසේ ය ඇවැත්නි”යි.
ඇවැත්නි, චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් කැමැතියේ නම්, අසු දැවකඳ පෘථිවිධාතු ම ය යි සළකන්නේ ය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, යම් පෘථිවිධාතුවක් නිසා චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් “අසු දැව කඳ පෘථිවිධාතු ම ය”යි සලකා නම්, තෙල දැවකඳෙහි (එබඳු) පෘථිවිධාතුයෙක් ඇත.
ඇවැත්නි, චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් කැමතියේ නම් අසු දැවකඳ අබ්ධාතු ම ය යි සළකන්නේ ය … තේජෝධාතු ම ය යි සළකන්නේ ය … වායෝධාතු ම ය යි සළකන්නේ ය … ශුභධාතු ම ය යි සළකන්නේ ය … අශුභධාතු ම ය යි සළකන්නේ ය. එ කවර හෙයින යත්: ඇවැත්නි, යම් අශුභධාතුවක් නිසා චිත්ත වශීභාවයට පත් ඍද්ධිමත් මහණ තෙල දැව කඳ අශුභධාතු ම ය යි සළකන්නේ නම්, අසු දැව කඳෙහි (එ) අශුභධාතුව ඇතැයි.
6. 1. 4. 12.
[නාගිත සූත්‍රය]
42. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහබික්සඟුන් හා සමග සැරි සරණසේක්, කෝශලයන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එ ඉච්ඡානඞ්ගලයෙහි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වාස කරන්නාහ.