6. 1. 4. 8.
[අත්තකාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු ස්මරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, “මම වනාහි ආත්මකාරයෙක් (තමන් කරණ ක්‍රියා) නැත. පරකාරයෙක් (අනුන් කරණ ක්‍රියා) නැත යන මෙබඳු වාද ඇතියෙම්, මෙබඳු දෘෂ්ටි ඇතියෙම් වෙමි”යි.
බ්‍රාහ්මණය, මෙබඳු වාද ඇතියකු මෙබඳු දෘෂ්ටි ඇතියකු මම නහමක් දකිම්වා, (අසුවල් තැන වෙසෙතැයි) නහමක් අසම් ව යි. කිසෙයින් නම් තෙමේ අභික්‍රමණ කරණුයේ තෙමේ ප්‍රතික්‍රමණ කරණුයේ “ආත්මකාරයෙක් නැත, පරකාරයෙක් නැතැ”යි කියන්නේ ද?
බ්‍රාහ්මණය, ‘ආරම්භධාතුයෙක් (ක්‍රියා කිරීමෙහි පළමු උපදනා වීර්‍ය්‍යය) ඇත’ යන එය කිම හඟිහිදැ?යි.
පින්වතුන් වහන්ස, එසේ ඇති යයි.
ආරම්භධාතු ඇතිවත්ම ප්‍රථමාරම්භවීර්‍ය්‍යවත් සත්ත්‍වයෝ පැණෙත් ද?
‘එසේ ය’ පින්වතුන් වහන්සැයි.
බ්‍රාහ්මණය, ‘ප්‍රථමාරම්භවීර්‍ය්‍යය ඇතිවත් ම ප්‍රථමාරම්භවීර්‍ය්‍යවත් (ප්‍රථමාරම්භවීර්‍ය්‍යයෙන් ක්‍රියා කරණ) සත්ත්‍වයෝ පැණෙති’ යන යමෙක් වේ නම්, මේ සත්ත්‍වයන්ගේ ආත්මකාර යි, මේ සත්ත්‍වයන්ගේ පරකාර යි.
බ්‍රාහ්මණය, (කුසීතභාවයෙන් නික්මෙන සැහැවි ඇති) නික්ඛමධාතුයෙක් = වීර්‍ය්‍යයෙක් ඇත … (පැරැකුම් සැහැවි ඇති) පරක්කමධාතුයෙක් ඇත … ස්ථාමධාතුයෙක් (බලවත් වීර්‍ය්‍යයෙක්) ඇත ... ස්ථිතිධාතුයෙක් (පිහිටි වීර්‍ය්‍යයෙක්) ඇත … උපක්‍රමධාතුයෙක් (උපක්‍රම ශක්තියෙක්) ඇත යන එය කිම හඟිහි දැ?යි.
පින්වතුන් වහන්ස, එසේ යැයි.
උපක්‍රමධාතුව (උපක්‍රම ස්වභාවය) ඇති වත් ම උපක්‍රමවත් සත්ත්‍වයෝ පැණෙත් දැ?යි.
පින්වතුන් වහන්ස, එසේ යැයි.
බ්‍රාහ්මණය, උපක්‍රමධාතුව ඇති වත් ම උපක්‍රමවත් සත්ත්‍වයෝ පැනෙති යන යමෙක් වේ නම්, මෙය සත්ත්‍වයන්ගේ ආත්මකාරයි, මෙය පරකාර යි.
බ්‍රාහ්මණය, මෙබඳු වාද ඇතියකු මෙබඳු දෘෂ්ටි ඇතියකු මම නහමක් දකිම්වයි, අසම්වයි. කෙසෙයින් නම් තෙමේ අභික්‍රමණ කරණුයේ තෙමේ ප්‍රතික්‍රමණ කරණුයේ “ආත්මකාරයෙක් නැත, පරකාරයෙක් නැතැ”යි මෙසේ කියන්නේ දැ?
(බමුණු තෙම අත්තකාර පරකාර යථාවයෙන් දැන බුදුරදුන් සරණ ගොස් මෙසේ කීය:)
භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය … මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගියකු කොට ධරණ සේක් වයි.
6. 1. 4. 9.
[කම්මනිදාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, (වර්‍තතගාමි) කර්‍මයන්ගේ සමුදයට (රැස්වීමට) මෙ නිදාන තුණෙක.
කවර තුණෙක යත්:
කර්‍මයන්ගේ සමුදයට ලෝභය නිදානයෙකි. කර්‍මයන්ගේ සමුදයට ද්වේෂය නිදානයෙකි. කර්‍මයන්ගේ සමුදයට මෝහය නිදානයෙකි.
මහණෙනි, ලෝභයෙන් අලෝභය නූපදනේ ය. වැලිත් මහණෙනි, ලෝභයෙන් ලෝභය මැ උපදනේ ය. මහණෙනි, ද්වේෂයෙන් අද්වේෂය නූපදනේ ය. වැලිත් මහණෙනි, ද්වේෂයෙන් ද්වේෂය ම උපදනේ ය. මහණෙනි, මෝහයෙන් අමෝහය නූපදනේ ය. මහණෙනි, වැලිත් මෝහයෙන් මෝහය ම උපදනේ ය.
මහණෙනි, ලෝභයෙන් උපන් කර්‍මයෙන්, ද්වේෂයෙන් උපන් කර්‍මයෙන්, මෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ නො පැණෙත්. මනුෂ්‍යයෝ නො පැණෙත්. යම්බඳු අනෙකුදු සුගතිහු නො පැණෙත්.
වැලිත් මහණෙනි, ලෝභජකර්‍මයෙන්, ද්වේෂජකර්‍මයෙන්, මෝහජකර්‍මයෙන් නිරය පැණෙයි. තිරිසන් යොන් පැණෙයි. ප්‍රේත විෂය පැණෙයි. අනෙක් කිසි දුගතිහුදු පැණෙති.
මහණෙනි, කර්‍මයන්ගේ සමුදයට මෙ නිදාන තුණ යි.