6. 1. 4. 6.
[විවාදමූල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, මෙ විවාදමූල සයෙකි. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කිපෙන සුලුයේ බද්ධවෛර ඇතියේ වෙයි. මහණෙනි, යම් මැ මහණෙක් ක්‍රෝධන උපනාහී වේ නම්, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ප්‍රතිශ්‍රය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. ධර්‍මයෙහිදු ප්‍රතිශය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. සඟුන් කෙරෙහි දු ප්‍රතිශය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. ශික්‍ෂාහිදු පරිපූරකාරි නො වෙසෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ප්‍රතිශය (ගුරු පිහිට) නැතියේ, ගෞරව නැතියේ වෙසේ නම්, ධර්‍මයෙහි ප්‍රතිශ්‍රය නැතියේ, ගෞරව නැතියේ වෙසේ නම්, සඟුන් කෙරෙහි ප්‍රතිශ්‍රය නැතියේ ගෞරව නැතියේ වෙසේ නම්, ශික්‍ෂාහි පරිපූරකාරි නො වේ නම්, හෙ යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස, දෙවි මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ නම්, සඟුන් අතුරෙහි එබඳු විවාද දනවයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් ආභ්‍යන්තරික පර්‍ෂද්හි වේවයි බාහිර පර්‍ෂද්හි වේවයි දක්නහු නම්, එ ලමු වාදයාගේ ප්‍රහාණය පිණිස ම ව්‍යායාම කරව. මහණෙනි, මෙබඳු විවාද මූලයක් ඉදින් ආභ්‍යන්තරීක පර්‍ෂද්හි වේවයි, බාහිර පර්‍ෂද්හි වේවයි, නොදක්නහු නම්, මහණෙනි, තෙපි එ කරුණෙහිලා මතුයෙහි එ මැ ලමු විවාද මූලයාගේ අනුත්පාදය පිණිස පිළිපදුව. මෙසෙයින් තෙල ලමු විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසෙයින් මතුයෙහි තෙල ලමු විවාදමූලයාගේ අනුත්පාද වෙයි.
(2) තවද මහණෙනි, මහණ මෙරමා ගුණ මකන සැහැවි ඇතියේ යුග ග්‍රාහ (දෙදෙන සමව ගැණීම්) ලක්‍ෂණ ප්‍රදාස ඇතියේ වෙයි … (3) ඊර්‍ෂ්‍යා ඇතියේ මාත්සර්‍ය්‍ය ඇතියේ වෙයි … (4) ශඨ වූයේ මායා ඇතියේ වෙයි … (5) ලාමක ඉච්ඡා ඇතියේ මිසදිටු (නාස්තික වාද, අහේතුක වාද, අක්‍රිය වාද) ඇතියේ වෙයි ... (6) ස්වදෘෂ්ටිය ම පරාමර්‍ෂණ කරණ සුලුයේ දෘඪග්‍රාහී වූයේ ගත්මත නොහළ හැකියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් ස්වදෘෂ්ටිය පරාමර්‍ෂණ කරණ සුලුවූයේ දෘඪග්‍රාහීවූයේ ගත්මත නොහළ හැකියේ වේ නම්, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. සඟුන් කෙරෙහි අගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. ශික්‍ෂායෙහි අපරිපූරකාරී වෙයි. හේ යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස අහිත පිණිස දෙව් මිනිස්නට දුක් පිණිස වේ නම්, සඞ්ඝයා අතුරෙහි එබඳු විවාද දනවයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පර්‍ෂද්හි වේවයි, බාහිර පර්‍ෂද්හි වේවයි, දක්නහු නම්, මහණෙනි, එකරුණෙහි ලා එ මැ ලාමක විවාද මූලයාගේ ප්‍රහාණය පිණිස ව්‍යායාම කරව. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පර්‍ෂද්හි හෝ බාහිර පර්‍ෂද්හි හෝ නොදක්නාහු නම්, මහණෙනි, එකරුණෙහි ලා තෙපි එ මැ ලාමක විවාද මූලයාගේ මතුයෙහි අනුත්පාදය පිණිස පිළිපදුව. මෙසෙයින් තෙල ලාමක විවාද මූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසෙයින් මතුයෙහි තෙල ලාමක විවාද මූලයාගේ අනුත්පාදය වෙයි.
මහණෙනි, මෙ විවාද මූල සය යි.
6. 1. 4. 7.
[ඡළඞ්ගදාන සූත්‍රය]
37. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වේළුකණ්ටක නුවරවැසි නන්‍දමාතා උපාසිකා ශාරිපුත්‍ර මෞද්ගල්‍යායන ප්‍රමුඛ බික් සඟුන් කෙරෙහි ෂඩඞ්ග සමන්‍වාගත දක්‍ෂිණා පිහිටුවයි.
භාග්‍යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිව්‍ය චක්‍ෂුර්ඥානයෙන් සැරියුත් මුගලන් පාමොක් බික්සඟුන් කෙරෙහි දන් පිහිටුවන වේළුකණ්ටකී නන්‍දමාතා උවැසිය දැක වදාළසේක්මැයි. දැකවදාරා මහණුන් ඇමැතූසේක:
මහණෙනි, තෙල වේළුකණ්ට කී නන්‍දමාතා උපාසිකා සැරියුත් මුගලන් පාමොක් බික්සඟුන් කෙරෙහි ෂඩඞ්ග සමන්‍වාගත දක්‍ෂිණා (දනක්) දෙයි.
මහණෙනි, කී සෙයින් ෂඩඞ්ග සමන්‍වාගත දක්‍ෂිණා වේය යත්:
මහණෙනි, මෙ කරුණෙහි ලා දායකයාගේ අඞ්ග තුණෙක් වෙයි. පිළිගාවන්ගේ අඞ්ග තුණෙක් වෙයි.
දායකයාගේ කවර අඞ්ග තුණෙක යත්:
මහණෙනි, මෙ කරුණෙහි ලා දායකතෙම දානයෙන් පූර්‍වයෙහි මැ සොම්නස් ඇති වෙයි. දන්දෙනුයේ සිත් පහන් කෙරෙයි. දන් දී සතුටු සිතැති වෙයි. මෙ දායකයාගේ අඞ්ග තුණ ය.
ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුණ කවරැ යත්:
මහණෙනි, මෙ කරුණෙහි ලා පිළිගාවෝ වීතරාග හෝ වෙත්, රාග විනයට පිළිපන්නාහු හෝ වෙත්. වීත ද්වේෂ හෝ වෙත්, ද්වේෂවිනයට පිළිපන්නාහු හෝ වෙත්. වීතමෝහ හෝ වෙත්, මෝහවිනයට පිළිපන්නාහු හෝ වෙත්. මේ ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුණ යි.
මෙලෙස දායකයාගේ අඞ්ග තුණෙක. ප්‍රතිග්‍රාහකයින්ගේ අඞ්ග තුණෙක. මහණෙනි, මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්‍ෂිණා වෙයි.
මහණෙනි, මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්‍ෂිණාමය පුණ්‍යයාගේ “මෙතරම් පුණ්‍යප්‍රවාහයෙක, කුශලප්‍රවාහයෙක, සුව ගෙණ දෙන්නෙක, ස්වග්‍රසුඛදායකය, සුඛවිපාක ඇත්තෙක, ස්වර්‍ගයට හිතව වැටෙන්නෙක. ඉෂ්ට කාන්ත මනාප හිත සුඛ සඳහා වැටෙන්නෙකැයි ප්‍රමාණය ගන්නට සුකර නො වෙයි. වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය මහා පුණ්‍යස්කන්‍ධයෙකැ යන සඞ්ඛ්‍යාවට ම යෙයි.
මහණෙනි, යම් පරිදි මහ සයුරෙහි, “මෙතෙක් දියනැලි යි හෝ මෙතෙක් දියනැලිසියෙක හෝ, මෙතෙක් දියනැලි දහසෙකැයි හෝ, මෙතෙක් දිය නැලිසියදහසෙකැයි හෝ ජල ප්‍රමාණය ගන්නට නො හැකි වේ ද, වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය වූ මහදියකඳෙකැයි ම සඞ්ඛ්‍යාවට යේ.