6. 1. 4. 5.
[විජ්ජාභාගිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, මෙ විජ්ජාභාගිය (විද්‍යා කොටස් පිළිබඳ) ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
අනිච්චසඤ්ඤා (අනිත්‍යානුදර්‍ශනයෙහි උපන් සංඥාව), අනිච්චේ දුක්ඛසඤ්ඤා (අනිත්‍යයෙහි දුඃඛානුදර්‍ශනයෙහි උපන් සංඥාව), දුක්ඛෙ අනත්තසඤ්ඤා (දුකෙහි අනාත්මානුදර්‍ශනයෙහි උපන් සංඥාව), පහාණසඤ්ඤා (ප්‍රහාණානු දර්‍ශනයෙහි උපන් සංඥාව), විරාගසඤ්ඤා (විරාගානු දර්‍ශනයෙහි උපන් සංඥාව), නිරෝධසඤ්ඤා (නිරෝධානුදර්‍ශනයෙහි උපන් සංඥාව) ද වෙත්.
මහණෙනි, මෙ විජ්ජාභාගිය ධර්‍ම සය යි.
6. 1. 4. 6.
[විවාදමූල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, මෙ විවාදමූල සයෙකි. කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කිපෙන සුලුයේ බද්ධවෛර ඇතියේ වෙයි. මහණෙනි, යම් මැ මහණෙක් ක්‍රෝධන උපනාහී වේ නම්, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ප්‍රතිශ්‍රය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. ධර්‍මයෙහිදු ප්‍රතිශය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. සඟුන් කෙරෙහි දු ප්‍රතිශය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. ශික්‍ෂාහිදු පරිපූරකාරි නො වෙසෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ප්‍රතිශය (ගුරු පිහිට) නැතියේ, ගෞරව නැතියේ වෙසේ නම්, ධර්‍මයෙහි ප්‍රතිශ්‍රය නැතියේ, ගෞරව නැතියේ වෙසේ නම්, සඟුන් කෙරෙහි ප්‍රතිශ්‍රය නැතියේ ගෞරව නැතියේ වෙසේ නම්, ශික්‍ෂාහි පරිපූරකාරි නො වේ නම්, හෙ යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස, දෙවි මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ නම්, සඟුන් අතුරෙහි එබඳු විවාද දනවයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් ආභ්‍යන්තරික පර්‍ෂද්හි වේවයි බාහිර පර්‍ෂද්හි වේවයි දක්නහු නම්, එ ලමු වාදයාගේ ප්‍රහාණය පිණිස ම ව්‍යායාම කරව. මහණෙනි, මෙබඳු විවාද මූලයක් ඉදින් ආභ්‍යන්තරීක පර්‍ෂද්හි වේවයි, බාහිර පර්‍ෂද්හි වේවයි, නොදක්නහු නම්, මහණෙනි, තෙපි එ කරුණෙහිලා මතුයෙහි එ මැ ලමු විවාද මූලයාගේ අනුත්පාදය පිණිස පිළිපදුව. මෙසෙයින් තෙල ලමු විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසෙයින් මතුයෙහි තෙල ලමු විවාදමූලයාගේ අනුත්පාද වෙයි.
(2) තවද මහණෙනි, මහණ මෙරමා ගුණ මකන සැහැවි ඇතියේ යුග ග්‍රාහ (දෙදෙන සමව ගැණීම්) ලක්‍ෂණ ප්‍රදාස ඇතියේ වෙයි … (3) ඊර්‍ෂ්‍යා ඇතියේ මාත්සර්‍ය්‍ය ඇතියේ වෙයි … (4) ශඨ වූයේ මායා ඇතියේ වෙයි … (5) ලාමක ඉච්ඡා ඇතියේ මිසදිටු (නාස්තික වාද, අහේතුක වාද, අක්‍රිය වාද) ඇතියේ වෙයි ... (6) ස්වදෘෂ්ටිය ම පරාමර්‍ෂණ කරණ සුලුයේ දෘඪග්‍රාහී වූයේ ගත්මත නොහළ හැකියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් ස්වදෘෂ්ටිය පරාමර්‍ෂණ කරණ සුලුවූයේ දෘඪග්‍රාහීවූයේ ගත්මත නොහළ හැකියේ වේ නම්, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. සඟුන් කෙරෙහි අගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. ශික්‍ෂායෙහි අපරිපූරකාරී වෙයි. හේ යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස අහිත පිණිස දෙව් මිනිස්නට දුක් පිණිස වේ නම්, සඞ්ඝයා අතුරෙහි එබඳු විවාද දනවයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පර්‍ෂද්හි වේවයි, බාහිර පර්‍ෂද්හි වේවයි, දක්නහු නම්, මහණෙනි, එකරුණෙහි ලා එ මැ ලාමක විවාද මූලයාගේ ප්‍රහාණය පිණිස ව්‍යායාම කරව. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පර්‍ෂද්හි හෝ බාහිර පර්‍ෂද්හි හෝ නොදක්නාහු නම්, මහණෙනි, එකරුණෙහි ලා තෙපි එ මැ ලාමක විවාද මූලයාගේ මතුයෙහි අනුත්පාදය පිණිස පිළිපදුව. මෙසෙයින් තෙල ලාමක විවාද මූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසෙයින් මතුයෙහි තෙල ලාමක විවාද මූලයාගේ අනුත්පාදය වෙයි.
මහණෙනි, මෙ විවාද මූල සය යි.