6. 1. 4. 4.
[මොග්ගල්ලාන සූත්‍රය]
34. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි ඒකාකී වූ පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්‍කයෙක් පාළවිය: “කවර නම් දෙවිකෙනකුන්ට අපායට නොහෙන සැහැවි ඇති, නිවණට නියත වූ, සත්‍යාවබෝධය පරායණ කොටැති, සෝවන් පුඟුලමෝ වම්හ”යි යන මෙබඳු ඥානයෙක් වේ දැයි”යි.
එ සමයෙහි කලුරිය කළ තිස්ස නම් මහණ අන්‍යතර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ වෙයි. එහිදු “තිස්ස බ්‍රහ්ම මහ ඉදුහ ඇත්තේය, මහ අනුභාව ඇත්තේය”යි වෙසෙසින් ඔහු හඳුනත්.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගුකරන්නේ හෝ දික්කළ අතක් හකුළන්නේ හෝ යම් සේ නම්, එ පරිද්දෙන් ම ජේතවනයෙහි අතුරුදන්වූවාහු එ බඹලොව්හි පාළ වූහ. තිස්ස බ්‍රහ්මයා වඩනා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් දුරින් ම දුටුයේ ම ය. දැක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්හට තෙල කීය:
“නිදුක, මුගලනෙනි, මොබැ එව, නිදුක, මුගලන, ස්වාගතයැ, නිදුක මෞද්ගල්‍යානයෙනි, මෙහි ඊම සඳහා බොහෝ කලෙකින් මෙ පර්‍ය්‍යාය (වාරය) කෙළේ ය. නිදුක මුගලන, මෙ අස්න පණවන ලද. හිඳිනු මැනැවැ”යී. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පැන් වූ අස්නෙහි හිඳගත්හ.
තිස්සබ්‍රහ්ම ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් තිස්සබ්‍රහ්මහට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කීහ:
තිස්සයෙනි, “අපායට නො හෙන සැහැවි ඇති, නිවණට නියත වූ සත්‍යාවබෝධය පරායණ කොට ඇති, සෝවන් පුඟුලමෝ වම්හ” යන මෙ අයුරින් කවර නම් දෙවිකෙනකුන්ට ඥානයෙක් වේ දැ?”යි.
නිදුක, මුගලනෙනි, “(අපි) අපායට නොහෙන සැහැවි ඇති, නිවණට නියතවූ, සම්බෝධි පරායණ කොට ඇත, සෝවන් පුඟුලමෝ වම්හ” යන මෙබඳු ඥානයෙක් සිවුමහරජය වැසි දෙවියනට වන්නේ යි.
තිස්සයෙනි, “අපි අවිනිපාත ධර්‍ම වූ, නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය සිවුමහ රජය වැසි හැම දෙවියනට වේ දැ?”යි.
නිදුක, මෞද්ගල්‍යායනයෙනි, “අපි අවිනිපාත වූ, නියත වූ සම්බෝධි පරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙ ඥානය හැම චාතුර්මහාරාජික දෙවියනට නොවන්නේ ය. මෞද්ගල්‍යායනයෙනි, යම් ඒ චාතුම්මහාරාජික දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් (අධිගත සෝවන්පල පැහැදීමෙන්) සමන්‍වාගත නොවෙත් නම්, ධර්‍මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත නොවෙත් නම්, සඟුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත නො වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත (මාර්‍ගඵල) ශීලයෙන් සමන්‍වාගත නොවෙත් නම්, එ දෙවියනට “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය නොවන්නේ ය. නිදුක, මෞද්ගල්‍යායනයෙනි, යම් එ චාතුම්මහාරාජික දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, ධර්‍මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙත් නම්, ඔවුනට “අපි අවිනිපාත වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්න යම්හ” යන මෙබඳු ඥානය වන්නේ ය.