6. 1. 4. 1.
[සේඛ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, මේ ධර්‍මයෝ සදෙනෙක් ශෛක්‍ෂ්‍ය භික්‍ෂුහුගේ පිරිහීම පිණිස වැටෙති.
කවර සදෙනෙක යත්: කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියෙහි අගුත්තද්වාරතා ය, භෝජනයෙහි අමත්තඤ්ඤුතා යි. මහණෙනි, මේ ධර්‍මයෝ සදෙන ශෛක්‍ෂ්‍ය භික්‍ෂුහුගේ පිරිහීම පිණිස වැටෙත්.
මහණෙනි, මෙ ධර්‍මයෝ සදෙනෙක් ශෛක්‍ෂ්‍යභික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස වැටෙත්.
කවර සයෙක යත්: කම්මාරාමතා නො වනු ය, භස්සාරාමතා නො වනු ය, නිද්දාරාමතා නො වනු ය, සඞ්ගණිකාරාමතා නො වනු ය, ඉන්‍ද්‍රියයෙහි ගුත්තද්වාරතා ය, භෝජනයෙහි මත්තඤ්ඤුතා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ සදෙන ශෛක්‍ෂ්‍යභික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස වැටෙති යි.
6. 1. 4. 2.
[ප්‍රථම අපරිහාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. එකල්හි එක්තරා දෙවියෙක් මැදුම්යම්හි අතිකමනීය වර්‍ණ ඇතියේ මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස් ව සිටි එ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“වහන්ස, මේ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙත්.
කවර සයෙක යත්: සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස මේ දහම්හු සදෙන භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙත්.”
ඒ දෙවි මෙය කීය. ශාස්තෘහු සමනුඥ (අනුමෝදන්) වූහ. එකල ඒ දෙවි “මට ශාස්තෘහු සමනුඥයහ”යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රැය ඇවෑමෙන් මහණුන් ඇමතූහ: මහණෙනි, මෙ රෑහි රෑ පෙරයම ඉක්ම යත් ම විශිෂ්ටවර්‍ණ ඇති අන්‍යතර දේවපුත්‍රයෙක් මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පස්ව සිටි ඒ දෙවි මට තෙල සැළකෙළේ ය:
“වහන්ස, මෙ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙත්.
කවර සයෙක යත්: සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස, මෙ සදහම්හු භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති යී”
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් කෙළේ ය.
12. ශාස්තෘගුරුක, ධර්‍ම ගුරුක, සඞ්ඝයා කෙරෙහිදු තීව්‍රගෞරව ඇති, අප්‍රමාද ගුරුක, ධර්‍මාමිස වශයෙන් (මහණදම්හි අප්‍රමාද වෙහි ද, ප්‍රත්‍යය ලාභ සුලබ ද ආදීන්) පිළිසඳර කිරීමෙහි ගෞරව ඇති මහණ පරිහානියට අභව්‍ය වෙයි. නිවන් වෙතැ ම වූයේ වෙයි.
6. 1. 4. 3.
[දුතිය අපරිහාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, මෙ රෑහි අන්‍යතර දේව පුත්‍රයෙක් රෑ පෙරයම් ඉක්මයත් ම මුළු දෙව්රම බබුළුවා මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේය:
“වහන්ස, මෙ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ නො පිරිහීමට වැටෙත්.
කවර සයෙක යත්: සත්‍ථුගාරවතා හා ධම්මගාරවතා හා සඞ්ඝගාරවතා හා සික්ඛාගාරවතා හා හිරිගාරවතා හා ඔත්තප්පගාරවතා හා යි. වහන්ස, මෙ ධර්‍මයෝ සදෙන භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති.”
මහණෙනි, එ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එතන්හි ම අතුරුදන් වී ය යි.
13. ශාස්තෘන් කෙරෙහි ගෞරව ඇති, ධර්‍මය කෙරෙහි ගෞරව ඇති, සඟුන් කෙරෙහිදු තීව්‍රගෞරව ඇති, හිරිඔතප් සපන්, ප්‍රතිශය (මහල්ලන් කෙරෙහි යටත් පැවැතුම්) ඇති, ගෞරවසහිත මහණ පිරිහීමට අභව්‍ය වෙයි. නිවන් වෙතැ ම වූයේ ය.
6. 1. 4. 4.
[මොග්ගල්ලාන සූත්‍රය]
34. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි ඒකාකී වූ පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්‍කයෙක් පාළවිය: “කවර නම් දෙවිකෙනකුන්ට අපායට නොහෙන සැහැවි ඇති, නිවණට නියත වූ, සත්‍යාවබෝධය පරායණ කොටැති, සෝවන් පුඟුලමෝ වම්හ”යි යන මෙබඳු ඥානයෙක් වේ දැයි”යි.
එ සමයෙහි කලුරිය කළ තිස්ස නම් මහණ අන්‍යතර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ වෙයි. එහිදු “තිස්ස බ්‍රහ්ම මහ ඉදුහ ඇත්තේය, මහ අනුභාව ඇත්තේය”යි වෙසෙසින් ඔහු හඳුනත්.