6. 1. 4. 2.
[ප්‍රථම අපරිහාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. එකල්හි එක්තරා දෙවියෙක් මැදුම්යම්හි අතිකමනීය වර්‍ණ ඇතියේ මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස් ව සිටි එ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“වහන්ස, මේ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙත්.
කවර සයෙක යත්: සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස මේ දහම්හු සදෙන භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙත්.”
ඒ දෙවි මෙය කීය. ශාස්තෘහු සමනුඥ (අනුමෝදන්) වූහ. එකල ඒ දෙවි “මට ශාස්තෘහු සමනුඥයහ”යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රැය ඇවෑමෙන් මහණුන් ඇමතූහ: මහණෙනි, මෙ රෑහි රෑ පෙරයම ඉක්ම යත් ම විශිෂ්ටවර්‍ණ ඇති අන්‍යතර දේවපුත්‍රයෙක් මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පස්ව සිටි ඒ දෙවි මට තෙල සැළකෙළේ ය:
“වහන්ස, මෙ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙත්.
කවර සයෙක යත්: සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස, මෙ සදහම්හු භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති යී”
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් කෙළේ ය.
12. ශාස්තෘගුරුක, ධර්‍ම ගුරුක, සඞ්ඝයා කෙරෙහිදු තීව්‍රගෞරව ඇති, අප්‍රමාද ගුරුක, ධර්‍මාමිස වශයෙන් (මහණදම්හි අප්‍රමාද වෙහි ද, ප්‍රත්‍යය ලාභ සුලබ ද ආදීන්) පිළිසඳර කිරීමෙහි ගෞරව ඇති මහණ පරිහානියට අභව්‍ය වෙයි. නිවන් වෙතැ ම වූයේ වෙයි.
6. 1. 4. 3.
[දුතිය අපරිහාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, මෙ රෑහි අන්‍යතර දේව පුත්‍රයෙක් රෑ පෙරයම් ඉක්මයත් ම මුළු දෙව්රම බබුළුවා මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේය:
“වහන්ස, මෙ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ නො පිරිහීමට වැටෙත්.
කවර සයෙක යත්: සත්‍ථුගාරවතා හා ධම්මගාරවතා හා සඞ්ඝගාරවතා හා සික්ඛාගාරවතා හා හිරිගාරවතා හා ඔත්තප්පගාරවතා හා යි. වහන්ස, මෙ ධර්‍මයෝ සදෙන භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති.”
මහණෙනි, එ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එතන්හි ම අතුරුදන් වී ය යි.
13. ශාස්තෘන් කෙරෙහි ගෞරව ඇති, ධර්‍මය කෙරෙහි ගෞරව ඇති, සඟුන් කෙරෙහිදු තීව්‍රගෞරව ඇති, හිරිඔතප් සපන්, ප්‍රතිශය (මහල්ලන් කෙරෙහි යටත් පැවැතුම්) ඇති, ගෞරවසහිත මහණ පිරිහීමට අභව්‍ය වෙයි. නිවන් වෙතැ ම වූයේ ය.
6. 1. 4. 4.
[මොග්ගල්ලාන සූත්‍රය]
34. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි ඒකාකී වූ පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්‍කයෙක් පාළවිය: “කවර නම් දෙවිකෙනකුන්ට අපායට නොහෙන සැහැවි ඇති, නිවණට නියත වූ, සත්‍යාවබෝධය පරායණ කොටැති, සෝවන් පුඟුලමෝ වම්හ”යි යන මෙබඳු ඥානයෙක් වේ දැයි”යි.
එ සමයෙහි කලුරිය කළ තිස්ස නම් මහණ අන්‍යතර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ වෙයි. එහිදු “තිස්ස බ්‍රහ්ම මහ ඉදුහ ඇත්තේය, මහ අනුභාව ඇත්තේය”යි වෙසෙසින් ඔහු හඳුනත්.