6. 1. 3. 9.
[උදායී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් (ලාළු) උදායී තෙරුන් ඇමැතූ සේක:
“උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ “උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක. දෙවනවට දු ආයුෂ්මත් උදායි තෙරණුවෝ නිහඬ වූහ. තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ “උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි ආයුෂ්මත් උදායී තෙරුන් ඇමැතූ සේක. තෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ නිහඬ වූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් උදායි තෙරුන්ට තෙල කීහ: “ඇවැත් උදායියෙනි, ශාස්තෘහු මුඹ අමතන්නාහ”යි. “ඇවැත් ආනන්‍දයෙනි, මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුල අසමි” (ප්‍රශ්නය ගැණ කල්පනා කරමි) යි.
“වහන්ස, මෙ සස්නෙහි මහණ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙයි. එ කෙසෙයින යත්: එක් ජාතියකුදු ... ජාති දෙකෙකුදු ... මෙසෙයින් ආකාර සහිත කොට උදෙසීම් සහිත කොට අනේකවිධ පූර්වේනිවාසය අනුස්මරණය කරයි. වහන්ස, මෙ වනාහි අනුස්සතිට්ඨානයෙකැ”යි (උදායී තෙරණුවෝ කීහ.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍දතෙරුන් ඇමතූසේක: “ආනන්‍දයෙනි, මෙ උදායී මෝඝපුරුෂ තෙම (සමාධි - විදර්‍ශනා සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි නො ම යෙදුනේ වාස කරන්නේ ය”යි මම දැනගත්මි.
“ආනන්‍දයෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි.
වහන්ස, අනුස්මෘතිස්ථානයෝ පස්දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:
(1) වහන්ස, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම ... (ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ...) තෘතීයධ්‍යානයට එළඹ වාස කරයි.
වහන්ස, මෙ (ත්‍රිවිධධ්‍යාන) අනුස්මෘතිස්ථානය මෙසෙයින් වඩන ලදුයේ මෙසෙයින් බහුලකරණ ලදුයේ ඉහාත්මයෙහි සුඛවිහාර පිණිස වැටෙයි.
(2) තවද වහන්ස, මෙ සස්නෙහි මහණ (ථීනමිද්ධය දුරුකරණ) ආලෝකසංඥාව මෙනෙහි කෙරෙයි. දවහලැයි සංඥාව තබයි. දවහල් යම් සේ ආලෝක සංඥාව මෙනෙහි කෙරේ නම්, එසෙයින් රාත්‍රිය ද, රාත්‍රිය යම් සේ ආලෝක සංඥා මෙනෙහි කෙරේ නම්, එසේ ම දවහල් ද මෙනෙහි කරයි. මෙසේ විවෘත වූ නීවරණයන්ගෙන් නො වැළඳි සිතින් සප්‍රභාසචිත්තය (දිවැස් නුවණ පිණිස ඕභාස සහිත සිත) වඩයි.
වහන්ස, මෙ (ආලෝකසංඥා) අනුස්මෘතිස්ථානය මෙ සෙයින් වඩන ලදුයේ මෙ සෙයින් බහුලකරණ ලදුයේ ඥානදර්‍ශන ප්‍රතිලාභය (දිවැස් නුවණ ලැබීම) සඳහා වැටෙයි.
(3) තවද වහන්ස, මහණ පතුලෙන් උඩ, කේශමස්තකයෙන් යට සිවිය හිම් කොට ඇති නානාප්‍රකාර අශුචියෙන් යුත් මෙ මැ (තමන්ගේ මැ) කය ප්‍රත්‍යවේක්‍ෂා කරයි: මෙ කයෙහි කෙස් ඇත, ලොම් ඇත, නිය, දත්, සිවි, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩු, හදවත්, අක්මා, දලබු, බඩදිව, පෙණහලු, අතුණු අතුණුබහන්, උදරයෙහි වූ නො පැසුණු අහර - පැසුණු අහර, පිත්, සෙම්, පූයා, ලෙහෙ, ඩහ, මේදස්, කඳුළු, වුරුණු කෙල, සොටු, හිස්මිදුලු, මූත්‍ර ඇතැ”යි.
වහන්ස, මෙ (කය) අනුස්මෘතිස්ථානය මෙ සෙයින් වඩනා ලදුයේ මෙ සෙයින් බහුලකරණ ලදුයේ කාමරාගයාගේ ප්‍රහාණය පිණිස වැටෙයි.
(4) තවද වහන්ස, මහණ සොහොනෙහි දැමූ මළ එක් දිනක් ඇති වේවයි, මළ දෙදිනක් ඇති වේවයි, මළ තෙදිනක් ඇති වේවයි, ඉදිමීගිය, නිල්වන් වූ වෑහෙන පූයා ඇති මළ සිරුරක් යම් පරිදි දක්නේ නම්, හේ (තමාගේ) මෙ මැ කය මෙසෙයින් නුවණින් එළවා බලන්නේ ය: “මෙ කය ද මෙබඳු සැහැවි ඇතියේ ය. මෙබඳු වන සුල්ලේ ය. තෙල සැහැවි නො ඉක්ම වී ය”යි.