6. 1. 3. 10.
[අනුත්තරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, මෙ අනුත්තරිය (ශ්‍රේෂ්ඨ) ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
දස්සනානුත්තරිය, සවණානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචරියානුත්තරිය, අනුස්සතානුත්තරිය යන සය යි.
(1) මහණෙනි, දස්සනානුත්තරිය කවරේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් හස්තිරත්න දක්නට ද යෙයි. අශ්වරත්න දක්නට ද යෙයි. මණිරතන දක්නට ද යෙයි. කුදුමහත් දැය හෝ දක්නට ද යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකු හෝ බමුණකු හෝ දක්නට ද යෙයි. මහණෙනි, තෙල දර්‍ශනය ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල දර්‍ශනය හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍යය. අනර්‍ත්‍ථය සඳහා වැටෙයි. නිර්වේදයට නො ද වැටෙයි. විරාගයට නො ද වැටෙයි. නිරෝධයට නො ද වැටෙයි. ක්ලේශව්‍යපශමයට නො ද වැටෙයි. අභිඥානයට නො ද වැටෙයි. සම්බෝධියට නො ද වැටෙයි. නිර්‍වාණයට නො ද වැටෙයි. මහණෙනි, යමෙකුත් පිහිටි සැදැහැතියේ, පිහිටි ප්‍රේම ඇතියේ, ඒකාන්තයට (අචල ශ්‍රද්ධාවට) පැමිණියේ, අතිශයින් පහන් වූයේ, තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයකු හෝ දක්නට යේ නම්, මහණෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස, දුක්දොම්නස දුරලනු පිණිස, න්‍යායාධිගමය පිණිස, නිවන් පසක් කරණු පිණිස පවත්නා හෙයින්, පිහිටි සැදැහැතියේ පිහිටි ප්‍රේම ඇතියේ ඒකන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයන් හෝ දක්නට යන්නේ ය යන තෙල කරුණ දර්‍ශනයන් අතුරෙන් අනුත්තරිය දර්‍ශන වේ. මහණෙනි, මෙ දස්සනානුත්තරිය යි කියනු ලැබේ. මෙසෙයින් දර්‍ශනානුත්තරිය වෙයි.
(2) සවණානුත්තරිය කෙසේ වේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් භේරීශබ්ද ඇසීමට යෙයි. වීණාශබ්ද ඇසීමට යෙයි. ගීතශබ්ද ඇසීමට යෙයි. කුදු මහත් ශබ්ද හෝ ඇසීමට යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකුගේ වේවයි, බමුණකුගේ වේවයි, ධර්‍මශ්‍රවණයට යෙයි. මහණෙනි තෙල ශ්‍රවණය ඇත් මැ යි. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල ශ්‍රවණය හීන ය, ග්‍රාම්‍ය ය, පෘථග්ජනයන් සතු ය, අනාර්‍ය්‍ය ය. අනර්‍ත්‍ථය ඇසුරු කෙළේ ය. නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ක්ලේශව්‍යපශමයට නො වැටෙයි. අභිඥානයට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්‍වාණයට නො වැටෙයි. මහණෙනි, පිහිටි සැදැහැති, පිහිටි ප්‍රේම ඇති, අචලශ්‍රද්ධාවට පත් අභිප්‍රසන්න යමෙක් තථාගතයන් වහන්සේගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ ධර්‍මය ඇසීමට යේ නම්, මහණෙනි, පිහිටි ශ්‍රද්ධා ඇතියේ පිහිටි ප්‍රේම ඇතියේ ඒකාන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ ධර්‍මය ඇසීමට යන්නේය යන තෙල කරුණ - සත්ත්‍ව විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස, දුක්දොම්නසුන්ගේ අස්තගමය පිණිස, න්‍යායාධිගමය පිණිස, නිවන් පසක් කරණු පිණිස පවත්නා හෙයින් ශ්‍රවණයන් අතුරෙහි අනුත්තරිය වෙයි. මහණෙනි, මේ සවණානුත්තරිය යි කියනු ලැබේ.
මෙසේ දස්සනානුත්තරිය වෙයි. මෙසේ සවණානුත්තරිය වෙයි.