6. 1. 3. 8.
[දුතිය සමය සූත්රය]
28. එක් කලෙක්හි බොහෝ මහලු වහන්දෑ බරණැස් නුවර සමීපයෙහි වූ ඉසිපතන නම් මිගදායෙහි වසන්නාහ. ඉක්බිති පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණ, මණ්ඩල මාලයෙහි (මඬුලු සටහනින් කළ භෝජන ශාලායෙහි) රැස්ව හුන් මහලු වහන්දෑ අතුරෙහි මෙ අතුරු කථාව පහළ විය: “ඇවැත්නි, මනෝභාවනීය (භාවනාවෙන් මනවඩන) මහණකු දැකීමට එළඹෙනුවට නිසිකල් කවරේදැ?”යි.
මෙ සෙයින් කී කල්හි අන්යතර භික්ෂුනමක් එ භික්ෂුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියේ පා දොවා පලක් බැඳ (අසරමිණිය ගොතා) කය ඍජු කොට තබා සිහිය පරිමුඛ කොට (කමටහන්හි) එළවා හුන්නේ වේ ද, මනෝභාවනීය මහණහු දැක්ම සඳහා එළැඹෙන්නට එ සමය වේය”යි.
මෙසේ කියත් ම, අන්යතර මහණෙක් එ භික්ෂුහට තෙල කී: “ඇවැත්නි, යම් කලෙක මනෝභාවනීය භික්ෂු පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණියේ පා දොවා පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හුන්නේ වේ නම්, ඇවැත්නි, මනෝභාවනීය භික්ෂුහු දක්නා සඳහා එළැඹෙන්නට එ කල් නො වේ. එ සමයෙහි ඔහුගේ පිණ්ඩපාත චර්ය්යයෙන් උපන් ක්ලමථය ද නො සන්හුන් වෙයි. එසමයෙහි ඔහුගේ භක්ත ක්ලමථය ද නො සන්හුන් වෙයි. එසෙයින් මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙන්නට එ නොකල. ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ සවස් කල්හි පිළිසලණින් නැගියේ, වෙහෙරැ පසුපසැ සෙවණෙක්හි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා ස්මෘතිය කමටහන් අභිමුඛ කොට එළවා හුන්නේ ද, මනෝභාවනීය මහණහු දැක්මට එළැඹෙන්නට එ කලැ”යි.
මෙසේ කී කල්හි අන්යතර මහණෙක් එ භික්ෂුහට තෙල කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ සවස් වරුයෙහි පිළිසලණින් නැඟීසිටියේ වෙහෙර පසුපස සෙවණෙක්හි පලක් බැඳ කය ඉදු කොට තබා කමටහන් අභිමුඛ කොට සිහි එළවා හුන්නේ වේ නම්, එ මනෝභාවනීය මහණහු දැක්මට එළැඹෙන්නට නොකල් වෙයි. ඔහු විසින් දහවල් යම් මැ සමාධි නිමිත්තයෙක් මෙනෙහි කරණ ලද වේ නම්, එසමයෙහි එය ම ඔහුගේ මනෝද්වාරයෙහි ආපාථ වශයෙන් හැසිරෙයි. එහෙයින් මනෝභාවනීය භික්ෂුහු දක්නට එළැඹෙන්නට එ නොකල් වෙයි. ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය භික්ෂු රෑ පැසුළුයම්හි නැඟී පලක් බැඳ කය ඉදු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හුන්නේ වේ ද, මනෝභාවනීය භික්ෂූහු දක්නට එළැඹෙන්නට එ කලැ”යි.
එසෙයින් කී කල්හි අන්යතර මහණෙක් එ මහණහට තෙල කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය භික්ෂු රෑ පැසුළුයමැ නැගිට පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා ස්මෘතිය ඉදිරියෙහි එළවා හුන්නේ වේ ද, එසමයෙහි ඔහුගේ කය ඕජට්ඨායී (ඕජස් වැඩී සිටියේ) වෙයි. ඔහුට බුදුන්ගේ සස්න මෙනෙහි කරන්නට පහසු වෙයි. එහෙයින් මනෝභාවනීය භික්ෂුහු දක්නට එළඹෙන්නට එ කල් වේ ය” යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාකාත්යායන තෙරණුවෝ මහලු වහන්දෑට තෙල කීය: ඇවැත්නි, මා විසින් භාග්යවතුන් වහන්සේ වෙතින් තෙල කරුණ හමුයෙහි අසනලදි. හමුයෙහි පිළිගන්නාලදි:-
“මහණ, මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙනුවට මෙකල් සයෙක. කවර සයෙක යත්:
(1) මහණ, මෙසස්නෙහි මහණ යම් කලෙක කාමරාගයෙන් පර්ය්යුත්ථිත වූ කාමරාගයා විසින් මැඩුණු සිතින් වාස කෙරේ නම්, උපන් කාමරාගයාගේත් නිඃසරණයත් යථාභූතයෙන් නො දන්නේ නම්, එසමයෙහි මනෝභාවනීය මහණ වෙත එළැඹ මෙ සෙයින් කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි කාමරාගයෙන් පර්ය්යුත්ථිත වූ කාමරාගයා විසින් මැඩුණු සිතින් වසමි. උපන් කාමරාගයාගේ නිඃසරණයත් යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් කාමරාගයාගේ ප්රහාණය සඳහා මට දහම් දෙසා නම්, ඒකාන්තයෙන් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ කාමරාගයාගේ ප්රහාණය සඳහා (සුදුසු) දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනුවට මෙ ප්රථම සමය යි.
(2) තවද මහණ, යම් කලෙක්හි මහණ ව්යාපාදයෙන් පර්ය්යුත්ථිත වූ ව්යාපාදයා විසින් මැඩුණු සිතින් වෙසෙයි ... (3) ථිනමිද්ධයෙන් පර්ය්යුත්ථිත වූ ථීනමිද්ධයෙන් මැඩුණු චිත්තයෙන් වෙසෙයි ... (4) උද්ධච්චකුක්කුච්චයෙන් පර්ය්යුත්ථිත වූ උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුණු සිතින් වෙසෙයි ... (5) විචිකිච්ඡායෙන් පර්ය්යුත්ථිත වූ විචිකිච්ඡා විසින් මැඩුණු සිතින් වාස කරයි ... (6) යම් මැ නිමිත්තකට පැමිණ යම් මැ නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් ම ආස්රවක්ෂය වේ නම්, එ නිමිත්ත නො දන්නේ නො දක්නේ නම්, එ සමයෙහි එළැඹ මනෝභාවනීය මහණ මෙසෙයින් කිවයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි යම් මැ නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් ආස්රවක්ෂය වේ නම්, එ නිමිත්ත නො දන්මි, නො දක්මි. ආයුෂ්මත් මට දහම් දෙසා නම් ඒකාන්තයෙන් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ ආස්රවක්ෂය සඳහා දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙන්නට මෙ සවන කලැ”යි.
ඇවැත්නි, “මහණ, මනෝභාවනීය භික්ෂූහු දක්නට වෙත එළැඹෙන්නට මෙ සය කල්ය”යි මා විසින් භාග්යවතුන් වහන්සේ වෙතින් හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි.
6. 1. 3. 9.
[උදායී සූත්රය]
[සැවැත්නිදාන යි]
29. එකල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් (ලාළු) උදායී තෙරුන් ඇමැතූ සේක:
“උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට දු භාග්යවතුන් වහන්සේ “උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක. දෙවනවට දු ආයුෂ්මත් උදායි තෙරණුවෝ නිහඬ වූහ. තෙවනවට දු භාග්යවතුන් වහන්සේ “උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි ආයුෂ්මත් උදායී තෙරුන් ඇමැතූ සේක. තෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ නිහඬ වූහ.