6. 1. 3. 7.
[පඨමසමය සූත්රය]
[සැවැත්නිදාන යි]
27. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළේ ය:
“වහන්ස, මනෝභාවනීය (වැඩූ සිත් ඇති) භික්ෂුවකු දක්නට එළැඹෙනු සඳහා සමය කෙතෙක්දැ”යි.
මහණ, මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනු සඳහා මෙකල් සයෙකි. කවර සයෙක යත්:
(1) මහණ, මෙ සස්නෙහි මහණ කාමරාගයෙන් පර්ය්යුත්ථිත වූ කාමරාගයෙන් මඩනා ලද සිතින් වාස කෙරේ නම්, උපන්නා වූ ද කාමරාගයාගේ නිස්සරණය තත් වූ පරිදි නොදන්නේ නම්, එසමයෙහි එළැඹ මනෝභාවනීය මහණ මෙසේ කියැයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි කාමරාගයෙන් පර්ය්යුත්ථිත වූ කාමරාගයෙන් මඩනා ලද සිතින් වාසකරමි. උපන්නා වූත් කාමරාගයාගේ යථාභූත නිස්සරණය නො දන්මි. ආයුෂ්මත් මට කාමරාගයාගේ ප්රහාණය සඳහා ධර්මය දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ කාමරාගයාගේ ප්රහාණයට ධර්මදේශනා කෙරෙයි. මහණ, මේ වනාහි මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනු සඳහා ප්රථම කාලය වෙයි.
(2) තවද මහණ, යම් කලෙක්හි මහණ ව්යාපාද පර්ය්යුත්ථිත, ව්යාපාදාභිභූත සිතින් වාසය කෙරේ නම්, උපන් ව්යාපාදයාගේ නිඃසරණය තත් වූ පරිදි නොදන්නේ නම්, එකල එළැඹ භාවනීය භික්ෂූ මෙසේ කියැයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි ව්යාපාද පර්ය්යුත්ථිත ව්යාපදාභිභූත සිතින් වාස කරමි. උපන් ව්යාපාදයාගේ යථාභූත නිස්සරණය නො ම දන්මි. ආයුෂ්මත් මට ව්යාපාදයාගේ ප්රහාණය පිණිස දහම් දෙසා නම්, මැනැවැ”යි ඔහට මනෝභාවනීය මහණ ව්යාපාදයාගේ ප්රහාණය පිණිස ධර්මය දෙසන්නේ ය. මහණ මෙ වනාහි මනෝභාවනීය භික්ෂුහුගේ දර්ශනය සඳහා එළඹෙන්නට දෙවන කාලය වෙයි.
(3) තවද මහණ, යම් කලෙක්හි මහණ ථිනමිද්ධයෙන් මැඩුනු ථිනමිද්ධ පරෙතසිතින් වාසකෙරේ නම්, උපන් ථීනමිද්ධයාගේ ද නිඃසරණය යථාභූතයෙන් නොදන්නේ නම්, එකල්හි එළඹ මනෝභාවනීය භික්ෂු මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි ථීනමිද්ධයෙන් මැඩුනු, ථීනමිද්ධය අනුව ගිය සිතින් වෙසෙමි. උපන් ථීනමිද්ධයාගේත් නිඃසරණය යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් තෙමේ මට ථීනමිද්ධයාගේ ප්රහාණය පිණිස නිසිදම් දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ ථීනමිද්ධයාගේ ප්රහාණය පිණිස දම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහුගේ දර්ශනය සඳහා මෙ තුන්වන කාලය වෙයි.
(4) තවද මහණ, යම් කලෙක මහණ උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු උද්ධච්චකුක්කුච්ච පරෙත සිතින් වාස කෙරේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ ද නිඃසරණය යථාභූතයෙන් නොදන්නේ නම්, එසමයෙහි එළඹ මනෝභාවනීය භික්ෂුතෙම මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු උද්ධච්චකුක්කුච්ච අනුව ගිය සිතින් වෙසෙමි. උපන් උද්ධදච්චකුක්කුච්චයාගේ ද නිඃසරණය යථාභූතයෙන් නො ම දන්මි. ආයුෂ්මත් මට උද්ධච්චකුක්කුච්චයාගේ ප්රහාණය සඳහා නිසි දහම් දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ උද්ධච්චකුක්කුච්චයාගේ ප්රහාණය සඳහා ධර්මය දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය භික්ෂුහුගේ දර්ශනය සඳහා එළඹෙන්නට මේ සතරවන කාලය වෙයි.
(5) තවද මහණ, යම් කලෙක්හි මහණ විචිකිච්ඡායෙන් මැඩුනු විචිකිච්ඡා පරෙත සිතින් වාස කෙරේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණය යථාභූතයෙන් නොදන්නේ නම්, එසමයෙහි වෙත පැමිණ මනෝභාවනීය මහණ මෙසේ කියයුතු වන්නේය: “ඇවැත්නි, මම වනාහි විචිකිච්ඡායෙන් මැඩුනු විචිකිච්ඡාව අනුවගිය සිතින් වසමි. උපන් විචිකිච්ඡාවගේ ද නිඃසරණය යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් මට විචිකිච්ඡාවගේ ප්රහාණය සඳහා ධර්මය දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ විචිකිච්ඡාවගේ ප්රහාණය සඳහා නිසි දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහුගේ දර්ශනය සඳහා එළඹෙනුවට මෙ පස්වන කාලය වෙයි.
(6) තවද මහණ, යම් කලෙක මහණ යම් මැ නිමිත්තකට පැමිණ යම් මැ නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් (බාධා රහිත) ආස්රවක්ෂය වේ නම්, එ නිමිත්ත නො දත්තේ, නො දක්නේ නම්, එකල්හි එළඹ මනෝභාවනීය මහණ මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම් වනාහි යම් නිමිත්තකට පැමිණ, යම් නිමිත්තක් මෙනෙහි කරණුවහට අනන්තරායෙන් ආස්රවක්ෂය වේ නම්, එබඳු නිමිත්ත නො දන්මි. නො දක්මි. ආයුෂ්මත් මට ආස්රවයන්ගේ ක්ෂය සඳහා ධර්මය දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය භික්ෂුහුගේ දර්ශනයට එළඹෙනුවට මේ සවන කාලය වෙයි.