6. 1. 3. 1.
[සාමගාමක සූත්රය]
21. එක් කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි සාමගාමකයෙහි පොක්ඛරණියා නම් වෙහෙරැ වැඩ වසන සේක.
එකල්හි අන්යතර දෙවියෙක් රාත්රි මධ්යමයාමයෙහි මනෝහර ඡවිවර්ණ ඇතියේ සියලු පොක්ඛරණියා වෙහෙර බබුළුවා භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේය:
“වහන්ස, මෙ තුන් දහම් කෙනෙක් භික්ෂුහුගේ පරිහානිය සඳහා වැටෙත්. කවර තුන් දහම් කෙනෙක යත්:
කර්මාරාමතාය, භාෂ්යාරාමතාය, නිද්රාරාමතා යි. වහන්ස, මෙ තුන් දහම්හු භික්ෂුහුගේ පරිහානිය සඳහා වැටෙති”යි.
එ දෙවි මෙය කීය. භාග්යවතුන් වහන්සේ සමසිත් වූසේක. ඉක්බිති එ දෙවි “මා බස භාග්යවතුන් වහන්සේ අනුදත්සේක් වනැ”යි භාග්යවතුන් වහන්සේ වැඳ ප්රදක්ෂිණා කොට එතන්හි ම අතුරුදන් ව ගියේ ය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්ෂූන් ඇමතූසේක. මහණෙනි, මෙ රෑ හි ඉකුත් පළමු යම ඇතිවත් ම අන්යතර දෙවියෙක් මනෝහර ඡවිවර්ණ ඇතියේ, සියලු පොක්ඛරණියා වෙහෙර එකලු කොට මා කරා එළැඹියේ ය. එළැඹ සකස් කොට මා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කී ය:
“වහන්ස, මෙ තුන් කරුණෙක් භික්ෂුහුගේ පරිහානියට වැටෙයි. කවර තුණෙක යත්: කර්මාරාමතා ය, භාෂ්යාරාමතා ය, නිද්රාරාමතා යි. වහන්ස, මෙ දහම් තුණ භික්ෂුහුගේ පිරිහීමට වැටේය යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා පැදකුණු කොට එහි ම අතුරුදන්වී.
මහණෙනි, යම්බඳු තොප කුශලධර්මයන්ගෙන් පිරිහීමට වැටෙන්නවුන් දෙවියෝ පවා දනිත් නම්, එ තොපට අලාභ ය, එ තොපට නො මනා ලැබුමෙකි.
මහණෙනි, අනෙකුදු පරිහානිය ධර්ම තුණක් දෙසමි. එ අසවු මනා කොට මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘එසේ ය වහන්සැ’යි එ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, පරිහානීය ධර්ම තුන්දෙන කවරහ යත්: සඞ්ගණිකාරාමතා ය, දෝවචස්සතා ය, පාපමිත්තතා යි.
මහණෙනි, මෙ පරිහානීය ධර්ම තුණ යි.
මහණෙනි, යම් මැ කෙනෙක් අතීතකාලයෙහි කුශලධර්මයෙන් පිරිහුණුහු නම්, එ හැම මෙ සකරුණෙන් ම කුශලධර්මයෙන් පිරිහුණහ. මහණෙනි, යම් මැ කෙනෙක් අනාගතකාලයෙහි කුශලධර්මයෙන් පිරිහෙත් නම්, එ හැම මෙ මැ සකරුණු හෙයින් කුශලධර්මයෙන් පිරිහෙත්. මහණෙනි, මෙ කල්හි යම් මැ කෙනෙක් කුශලධර්මයෙන් පිරිහෙත් නම්, එ හැම දෙන මෙ කරුණු සයෙන් මැ කුශලධර්මයෙන් පිරිහෙත් ය යි.
6. 1. 3. 2.
[අපරිහානියධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, මෙ අපරිහානියධර්ම සයක් දෙසන්නෙමි. එ අසවු. මනා කොට මෙනෙහි කරවු. වදාරමි. “එසේ ය වහන්සැ”යි එ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, එ අපරිහානියධර්ම සය කවරේය යත්:
කර්මාරාමතා නොවනු ය. භාෂ්යාරාමතා නොවනු ය. නිද්රාරාමතා නොවනු ය. සඞ්ගණිකාරාමතා නොවනු ය. සුවචභාවය, කල්යාණමිත්රතා යි. මහණෙනි, මෙ අපරිහානියධර්ම සය යි.
මහණෙනි, යම් මැ කෙනෙක් අතීත කාලයෙහි කුශලධර්මයෙන් නො පිරිහුණාහු නම්, ඔහු හැම මෙ සකරුණු හේතු කොටගෙන කුශලධර්මයෙන් නො ම පිරිහුණාහ. මහණෙනි, යම් ම කෙනෙක් අනාගත කාලයෙහි කුශලධර්මයන්ගෙන් නො පිරිහෙන්නාහු නම්, එ හැම දෙන මෙ දහම් සය හෙයින් ම කුශලධර්මයෙන් නො පිරිහෙන්නාහ. මහණෙනි, යම් මැ කෙනෙක් වර්තමාන කාලයෙහි කුශලධර්මයන්ගෙන් නො පිරිහෙත් නම්, එ හැම දෙන මෙ කරුණු සයින් මැ කුශලධර්මයෙන් නො පිරිහෙත ය යි.
6. 1. 3. 3.
[භය සූත්රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, ‘භය’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘දුක්ඛ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘රෝග’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘ගණ්ඩ - ගඩ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘සඞ්ග - ඇලීම’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘පඞ්ක - මඩ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි.
මහණෙනි, කවර හෙයින් ‘භය’ යන තෙල කාමයනට නාම වේ ද යත්: මහණෙනි, කාමරාගයෙන් රක්ත වූ මෙ පුඟුල් ඡන්දරාගයෙන් විනිබද්ධ වූයේ දෘෂ්ටධාර්මික භයෙනුදු නො මිදෙයි. සාම්පරායිකභයෙනුදු නො මිදෙයි. එ හෙයින් ‘භය’ යන තෙල කාමයනට නාමයෙකි. මහණෙනි, කවර හෙයින් ‘දුඃඛය’ යන ... ‘රෝග’ ය යන ... ‘ගණ්ඩය’ යන ... ‘සඞ්ගය’ යන ... ‘පඞ්ක’ය යන ... තෙල කාමයනට නමෙක යත්: මහණෙනි, කාමරාගයෙන් රක්ත වූ මෙ පුඟුල් ඡන්දරාගයෙන් විනිබද්ධ වූයේ දෘෂ්ටධාර්මික පඞ්කයෙනුදු නො මිදෙයි. සාම්පරායික පඞ්කයෙනුදු නො මිදේ. එ හෙයින් ‘පඞ්ක’ යන තෙල කාමයනට නමෙකි.
5. යමෙක පුහුදුන් පුඟුල් ආසක්ත වේ නම්, ‘භය’ හා ‘දුක්ඛ’ හා ‘රෝග’ හා ‘ගණ්ඩ’ හා ‘සඞ්ග’ ‘පඞ්ක’ යන දෙක හා තෙල කාමයහ’යි කියනු ලැබෙත්.
6. ජාතිමරණයට ප්රත්යය වූ චතුරුපාදානයෙහි භය දැක ජාතිමරණ සංක්ෂය සඞ්ඛ්යාත නිර්වාණාලම්බනයෙහි (සත්ත්වයෝ) මිදෙත්.
7. ක්ෂේමභාවයට පැමිණි ලෝකෝත්තර සුඛ ඇති දිටුදැමියෙහි ම කෙලෙසුන්ගෙන් පිරිනිවි සර්වවෛර භය ඉක්මවා ගිය ඔහු සර්වදුඃඛය ඉක්මවූහ යි.