6. 1. 3. 2.
[අපරිහානියධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, මෙ අපරිහානියධර්ම සයක් දෙසන්නෙමි. එ අසවු. මනා කොට මෙනෙහි කරවු. වදාරමි. “එසේ ය වහන්සැ”යි එ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, එ අපරිහානියධර්ම සය කවරේය යත්:
කර්මාරාමතා නොවනු ය. භාෂ්යාරාමතා නොවනු ය. නිද්රාරාමතා නොවනු ය. සඞ්ගණිකාරාමතා නොවනු ය. සුවචභාවය, කල්යාණමිත්රතා යි. මහණෙනි, මෙ අපරිහානියධර්ම සය යි.
මහණෙනි, යම් මැ කෙනෙක් අතීත කාලයෙහි කුශලධර්මයෙන් නො පිරිහුණාහු නම්, ඔහු හැම මෙ සකරුණු හේතු කොටගෙන කුශලධර්මයෙන් නො ම පිරිහුණාහ. මහණෙනි, යම් ම කෙනෙක් අනාගත කාලයෙහි කුශලධර්මයන්ගෙන් නො පිරිහෙන්නාහු නම්, එ හැම දෙන මෙ දහම් සය හෙයින් ම කුශලධර්මයෙන් නො පිරිහෙන්නාහ. මහණෙනි, යම් මැ කෙනෙක් වර්තමාන කාලයෙහි කුශලධර්මයන්ගෙන් නො පිරිහෙත් නම්, එ හැම දෙන මෙ කරුණු සයින් මැ කුශලධර්මයෙන් නො පිරිහෙත ය යි.
6. 1. 3. 3.
[භය සූත්රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, ‘භය’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘දුක්ඛ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘රෝග’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘ගණ්ඩ - ගඩ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘සඞ්ග - ඇලීම’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘පඞ්ක - මඩ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි.
මහණෙනි, කවර හෙයින් ‘භය’ යන තෙල කාමයනට නාම වේ ද යත්: මහණෙනි, කාමරාගයෙන් රක්ත වූ මෙ පුඟුල් ඡන්දරාගයෙන් විනිබද්ධ වූයේ දෘෂ්ටධාර්මික භයෙනුදු නො මිදෙයි. සාම්පරායිකභයෙනුදු නො මිදෙයි. එ හෙයින් ‘භය’ යන තෙල කාමයනට නාමයෙකි. මහණෙනි, කවර හෙයින් ‘දුඃඛය’ යන ... ‘රෝග’ ය යන ... ‘ගණ්ඩය’ යන ... ‘සඞ්ගය’ යන ... ‘පඞ්ක’ය යන ... තෙල කාමයනට නමෙක යත්: මහණෙනි, කාමරාගයෙන් රක්ත වූ මෙ පුඟුල් ඡන්දරාගයෙන් විනිබද්ධ වූයේ දෘෂ්ටධාර්මික පඞ්කයෙනුදු නො මිදෙයි. සාම්පරායික පඞ්කයෙනුදු නො මිදේ. එ හෙයින් ‘පඞ්ක’ යන තෙල කාමයනට නමෙකි.
5. යමෙක පුහුදුන් පුඟුල් ආසක්ත වේ නම්, ‘භය’ හා ‘දුක්ඛ’ හා ‘රෝග’ හා ‘ගණ්ඩ’ හා ‘සඞ්ග’ ‘පඞ්ක’ යන දෙක හා තෙල කාමයහ’යි කියනු ලැබෙත්.
6. ජාතිමරණයට ප්රත්යය වූ චතුරුපාදානයෙහි භය දැක ජාතිමරණ සංක්ෂය සඞ්ඛ්යාත නිර්වාණාලම්බනයෙහි (සත්ත්වයෝ) මිදෙත්.
7. ක්ෂේමභාවයට පැමිණි ලෝකෝත්තර සුඛ ඇති දිටුදැමියෙහි ම කෙලෙසුන්ගෙන් පිරිනිවි සර්වවෛර භය ඉක්මවා ගිය ඔහු සර්වදුඃඛය ඉක්මවූහ යි.
6. 1. 3. 4.
[හිමවන්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ හිමවත් පර්වතරාජයා බිඳලන්නේය. ලාමක අවිද්යා පිළිබඳ කවර කථායෙක.
කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධියට සමවැදුම්හි කුශල වෙයි. සමාධි ස්ථිතියෙහි කුශල වෙයි. සමාධියෙන් නැගී සිටුමෙහි කුශල වෙයි. සමාධි කල්යතායෙහි (සමාධිසිත පැහැදවීමෙහි) කුශල වෙයි. සමාධිගෝචරයෙහි (කුශල අරමුණෙහි) කුශල වෙයි. සමාධි අභිනීහාරයෙහි (මතු මතු සමවත් සමවැදුම පිණිස ප්රථමධ්යානාදි සමවත් එළවීමෙහි) කුශල වෙයි.
මහණෙනි, මෙ ස කරුණින් සමන්වාගත මහණ හිමවත් පර්වතරාජයා (වුව) බිඳලන්නේ ය. ලාමක අවිද්යාව පිළිබඳ කවර කථා ය යි.
6. 1. 3. 5.
[අනුස්සතිට්ඨාන සූත්රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, මෙ අනුස්මෘතිස්ථාන සයෙකි.
කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි අරීසවු “මෙ සෙයිනුදු එ භගවත්හු අර්හත්හ ... දේව මනුෂ්යයනට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි (තථාගතයන් ගුණ විසින්) අනුස්මරණ කෙරෙයි.
මහණෙනි, යම් සමයක අරීසව් තථාගතයන් අනුස්මරණ කෙරේ ද, එ සමයෙහි ඔහට රාගපර්ය්යුත්ථිත සිතෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහ පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මියේ මිදුනේ නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ (බුද්ධානුස්මෘතිය) ද අරමුණු කොට මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්වයෝ පිරිසිදු වෙත්.
(2) තවද මහණෙනි, අරීසවු “භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්යාතය ... විඥයන් තමා කෙරෙහි ලා දතයුතුය”යි ධර්මය අනුස්මරණ කෙරෙයි.
මහණෙනි, යම් සමයෙක්හි අරීසවු ධර්මය අනුස්මරණ කෙරේ ද, එ සමයෙහි ඔහට රාගපර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි උහුගේ සිත කෙලෙසුන් කෙරෙන් නික්මියේ මුක්ත වූයේ ගේධයෙන් නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ (ධර්මානුස්මෘතිය) ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්වයෝ පිරිසිදු වෙත්.