6. 1. 1. 9.
[අනුස්සතිට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, අනුස්මෘතිස්ථාන සදෙනෙකි. කවර සදෙනක යත්:
බුද්ධානුස්මෘති ය, ධර්‍මානුස්මෘති ය, සඞ්ඝානුස්මෘති ය, ශීලානුස්මෘති ය, ත්‍යාගානුස්මෘති ය, දේවතානුස්මෘති ය යි.
මහණෙනි, මෙ අනුස්මෘතිස්ථාන සදෙන යි.
6. 1. 1. 10.
[මහානාම සූත්‍රය]
10. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්‍ථු පුරාසන්නයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එකල්හි මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත්පස්ව හුන් මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, “යම් අරීසවුයෙක් ප්‍රාප්ත ආර්‍ය්‍යඵල ඇතියේ (සෝවන් වූයේ) දැනගත් ශික්‍ෂාත්‍රය ශාසන ඇතියේ වේ නම්, හෙ කවර විහාරයෙකින් බහුල කොට වාස කෙරේ දැ?”යි.
මහානාමයෙනි, යම් ආර්‍ය්‍යශ්‍රාවකයෙක් ප්‍රාප්ත ආර්‍ය්‍යඵල ඇතියේ (සෝවන් වූයේ) විඥාත ශාසන ඇතියේ වේ නම්, හෙ මෙ විහාරයෙන් බහුල කොට වාස කරන්නේ ය:
(1) මහානාමයෙනි, මෙ සස්නෙහි අරීසවු “මෙ මෙ කරුණෙන් ඒ භාග්‍යවත්හු අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ. සුගත්හ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍ය සාරථීහ. දේවමනුෂ්‍යයනට ශාස්තෘහ. චතුස්සත්‍ය ප්‍රතිබුද්ධයහ. භගවත්හ”යි තථාගතයන් අනුස්මරණ කෙරෙයි. මහානාමයෙනි, යම් කලෙක අරීසවු තථාගතයන් අනුස්මරණ කෙරේද, එසමයෙහි ඔහට රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. එ සමයෙහි ඔහුගේ චිත්තය තථාගතයන් ඇරැබැ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් අරීසවු අර්‍ත්‍ථගත (අටුවාකථා නිසා උපන්) ප්‍රීතිප්‍රමෝද්‍ය ලබන්නේ ය. පාළිධර්‍මය පිළිබඳ ප්‍රීතිප්‍රාමෝද්‍යය ලබන්නේ ය. පාළ්‍යර්‍ත්‍ථකථා නිසා උපන් ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාහට නාමකාය හා කරජකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය ඒකාග්‍ර වෙයි. මහානාමයෙනි, මේ අරීසවු රාග ද්වේෂ මෝහ විසින් විෂමගත ප්‍රජාව කෙරෙහි සමප්‍රාප්ත ව වෙසේ යයි ද, දුක් සහිත ප්‍රජාව කෙරෙහි නිදුක්ව වෙසේ යයි ද, විදර්‍ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතසට සපැමිණියේ බුද්ධානුස්මෘති කර්‍මස්ථානය වඩන්නේ යයි ද කියනු ලැබේ.
(2) තවද මහානාමයෙනි, අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපශ්‍ය විධියට නිසි ය, උපනයනාර්‍හය, විඥයන් විසින් තමන් කෙරෙහි එළවා දතයුතු”ය යි ධර්‍මය සිහි කෙරෙයි. මහානාමයෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යම් කලෙක ධර්‍මය සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ධර්‍මය ඇරැබ ඍජුගත මැ වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. පෙළදම් හා අරුත් නිසා උපන් ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට (පඤ්චවිධ) ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියෙන් යුත් සිතැතියහුගේ (උභය) කායය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුඛය විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධියට යෙයි. මහානාමයෙනි, මේ අරීසවු (රාග ද්වේෂ මෝහයෙන්) විෂමත්‍වයට ගිය සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි සමත්‍වයට පැමිණියේ වෙසේ යයි ද, දුක් සහිත ප්‍රජායෙහි නිදුක් වූයේ වෙසේ යයි ද, විදර්‍ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතසට පැමිණියේ ධර්‍මානුස්මෘතිය වඩන්නේ ය යි ද කියනු ලැබේ.