6. 1. 1. 10.
[මහානාම සූත්රය]
10. එක්කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කපිලවත්ථු පුරාසන්නයෙහි වූ නිග්රෝධාරාමයෙහි වසන සේක. එකල්හි මහානාම ශාක්ය භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත්පස්ව හුන් මහානාම ශාක්ය භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, “යම් අරීසවුයෙක් ප්රාප්ත ආර්ය්යඵල ඇතියේ (සෝවන් වූයේ) දැනගත් ශික්ෂාත්රය ශාසන ඇතියේ වේ නම්, හෙ කවර විහාරයෙකින් බහුල කොට වාස කෙරේ දැ?”යි.
මහානාමයෙනි, යම් ආර්ය්යශ්රාවකයෙක් ප්රාප්ත ආර්ය්යඵල ඇතියේ (සෝවන් වූයේ) විඥාත ශාසන ඇතියේ වේ නම්, හෙ මෙ විහාරයෙන් බහුල කොට වාස කරන්නේ ය:
(1) මහානාමයෙනි, මෙ සස්නෙහි අරීසවු “මෙ මෙ කරුණෙන් ඒ භාග්යවත්හු අර්හත්හ. සම්යක් සම්බුද්ධයහ. විද්යාචරණ සම්පන්නයහ. සුගත්හ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්ය සාරථීහ. දේවමනුෂ්යයනට ශාස්තෘහ. චතුස්සත්ය ප්රතිබුද්ධයහ. භගවත්හ”යි තථාගතයන් අනුස්මරණ කෙරෙයි. මහානාමයෙනි, යම් කලෙක අරීසවු තථාගතයන් අනුස්මරණ කෙරේද, එසමයෙහි ඔහට රාගයෙන් පර්ය්යුත්ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. ද්වේෂයෙන් පර්ය්යුත්ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. මෝහයෙන් පර්ය්යුත්ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. එ සමයෙහි ඔහුගේ චිත්තය තථාගතයන් ඇරැබැ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් අරීසවු අර්ත්ථගත (අටුවාකථා නිසා උපන්) ප්රීතිප්රමෝද්ය ලබන්නේ ය. පාළිධර්මය පිළිබඳ ප්රීතිප්රාමෝද්යය ලබන්නේ ය. පාළ්යර්ත්ථකථා නිසා උපන් ප්රාමෝද්යය ලබන්නේ ය. ප්රමුදිතයාහට ප්රීතිය උපදනේ ය. ප්රීතිමනස්කයාහට නාමකාය හා කරජකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය ඒකාග්ර වෙයි. මහානාමයෙනි, මේ අරීසවු රාග ද්වේෂ මෝහ විසින් විෂමගත ප්රජාව කෙරෙහි සමප්රාප්ත ව වෙසේ යයි ද, දුක් සහිත ප්රජාව කෙරෙහි නිදුක්ව වෙසේ යයි ද, විදර්ශනා සඞ්ඛ්යාත ධර්මස්රෝතසට සපැමිණියේ බුද්ධානුස්මෘති කර්මස්ථානය වඩන්නේ යයි ද කියනු ලැබේ.
(2) තවද මහානාමයෙනි, අරීසවු “භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපශ්ය විධියට නිසි ය, උපනයනාර්හය, විඥයන් විසින් තමන් කෙරෙහි එළවා දතයුතු”ය යි ධර්මය සිහි කෙරෙයි. මහානාමයෙනි, ආර්ය්ය ශ්රාවක තෙම යම් කලෙක ධර්මය සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාගයෙන් පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහයෙන් පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ධර්මය ඇරැබ ඍජුගත මැ වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් ආර්ය්යශ්රාවක අර්ත්ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය. පෙළදම් හා අරුත් නිසා උපන් ප්රාමෝද්යය ලබන්නේ ය. ප්රමුදිතයාහට (පඤ්චවිධ) ප්රීතිය උපදනේ ය. ප්රීතියෙන් යුත් සිතැතියහුගේ (උභය) කායය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුඛය විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධියට යෙයි. මහානාමයෙනි, මේ අරීසවු (රාග ද්වේෂ මෝහයෙන්) විෂමත්වයට ගිය සත්ත්වාඛ්ය ප්රජායෙහි සමත්වයට පැමිණියේ වෙසේ යයි ද, දුක් සහිත ප්රජායෙහි නිදුක් වූයේ වෙසේ යයි ද, විදර්ශනා සඞ්ඛ්යාත ධර්මස්රෝතසට පැමිණියේ ධර්මානුස්මෘතිය වඩන්නේ ය යි ද කියනු ලැබේ.
(3) තවද මහානාමයෙනි, අරීසවු “භාග්යවත්හුගේ ශ්රාවක සඞ්ඝ සුප්රතිපන්න ය, භාග්යවත්හුගේ ශ්රාවක සඞ්ඝ ඍජුප්රතිපන්න ය, භාග්යවත්හුගේ ශ්රාවක සඞ්ඝ න්යායප්රතිපන්න ය, භාග්යවත්හුගේ ශ්රාවක සඞ්ඝ සාමීචිප්රතිපන්න ය. යම් ඒ සතර පුරුෂ යුග්ම කෙනෙක්, අෂ්ටාර්ය්ය පුරුෂ පුද්ගල කෙනෙක් වෙත් නම්, භාග්යවත්හුගේ තෙල ශ්රාවක සඞ්ඝ ආහුනාර්හ වෙයි. ප්රාඝුණාර්හ වෙයි. දක්ෂිණාර්හ වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්ර වේ”ය යි සඟුන් සිහිකෙරෙයි. මහානාමයෙනි, යම් කලෙක්හි අරීසවු සඞ්ඝයා සිහිකෙරේ නම්, ඔහට එකල්හි රාගයෙන් පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහයෙන් පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ සිත සඞ්ඝයා ඇරැබ ඍජුගත මැ වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් අරීසවු අර්ත්ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්රාමෝද්යය ලබන්නේ ය. ප්රමුදිතයාහට ප්රීතිය උපදනේ ය. ප්රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇත්තහුගේ චිත්තය සමාධිගත වෙයි. මහානාමයෙනි, මෙ අරීසවු විෂමගත ප්රජායෙහි සමප්රාප්තව වාස කෙරේ යයි ද, සව්යාබාධප්රජායෙහි අව්යාබාධ ඇතිව වාස කෙරේ යයි ද, ධර්මස්රෝතසට පැමිණියේ සඞ්ඝානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.
(4) තවද මහානාමයෙනි, අරීසවු අඛණ්ඩ වූ අච්ඡිද්ර වූ අශබල වූ අකල්මාෂ වූ තෘෂ්ණාදාසත්වයෙන් නිදහස් වූ විඥ ප්රශස්ත වූ තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් පරාමෘෂ්ට නො වූ සමාධියට හිතව වැටෙන තමාගේ ශීලයන් සිහිකරයි. මහානාමයෙනි, යම් කලෙක ආර්ය්යශ්රාවකයා ශීලය සිහිකෙරේ නම්, එකල්හි ඔහට රාගපර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහ පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එකල්හි ඔහුගේ චිත්තය ශීලය ඇරැබ ඍජුගත මැ වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්ත ඇති ආර්ය්ය ශ්රාවක අර්ත්ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්රාමෝද්යය ලබන්නේ ය. ප්රමුදිතයාහට ප්රීතිය උපදනේ ය. ප්රීතියෙන් යුත් සිත් ඇතියහුගේ කය සංහිඳෙන්නේ ය. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධියට වැටෙයි. මහානාමයෙනි, මේ ආර්ය්යශ්රාවක විෂමගත ප්රජායෙහි සමප්රාප්තව වාස කෙරේ යයි ද, සව්යාබාධ ප්රජායෙහි අව්යාබාධව වාසය කෙරේ ය යි ද, ධර්මස්රෝතසට පැමිණියේ ශීලානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.
(5) තවද මහානාමයෙනි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙක, යම්බඳු මම මාත්සර්ය්ය මලයෙන් පර්ය්යුත්ථිත ප්රජායෙහි විගත මල මාත්සර්ය්ය සිතින්, වුහුටු වත්හි බැලුම් නැතියෙම්, පවිත්ර අත් ඇතියෙම්, දීමෙහි ඇලුනෙම්, යැදුමට නිස්සෙම්, දානසංවිභාගයෙහි ඇලුනෙම්, ගෙහි වෙසෙමි. (එය) මට ඒකාන්තයෙන් සුලබ්ධය”යි තමාගේ ත්යාගය සිහි කරයි. මහානාමයෙනි, යම් කලෙක අරීසවු ත්යාගය සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගපර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහ පර්ය්යුත්ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එකල්හි ඔහුගේ සිත ත්යාගය ඇරැඹ ඍජුගත ම වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්තය ඇති අරීසවු අර්ත්ථවේදය ලබන්නේ ය. ධර්මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්රාමෝද්යය ලබන්නේ ය. ප්රමුදිතයාහට ප්රීතිය උපදනේ ය. ප්රීතියෙන් යුත් සිත් ඇතියහුගේ කය සන්හිඳෙන්නේ ය. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධිගත වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්රජායෙහි සමප්රාප්තව වාස කෙරේ යයි ද, සව්යාබාධ ප්රජායෙහි අව්යාබාධව වෙසේ යයි ද, ධර්මස්රෝතසට පැමිණියේ ත්යාගානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.