5. 5. 5. 8.
[අපරමනෝදුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, මනෝදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
මහණෙනි, මනඃසුචරිතයෙහි මේ ආනිසංස පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කෙරෙයි, විඥයෝ දැන පසසත්, කලණ කිත් ගොස නැඟේ, අසද්ධර්‍මයෙන් නැඟෙයි, සද්ධර්‍මයෙහි පිහිටයි.
මහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසයි.
5. 5. 5. 9.
[සිවථික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, සීවථිකායෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අපවිත්‍ර ය, දුඟඳ ය, බිය සහිත ය, ව්‍යාඩ අමනුෂ්‍යයනට ආවාසය, බොහෝ දෙනාගේ ආරෝදනා (වැලපීම්) ඇත.
මහණෙනි, සීවථිකායෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, එ පරිද්දෙන් ම සීවථිකූපම පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් අපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මෙය ඔහුගේ අපවිත්‍රතා යී කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව අපවිත්‍ර වු ද, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
අපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ ඔහුගේ ලාමක කීර්තිශබ්දය නැඟෙයි. මෙය ඔහුගේ දුගඳ බවයි කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව දුගඳ වූ ද, මහණෙනි, මෙ පුඟුල් එබඳු කොට මම කියමි.
මහණෙනි, අපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ තෙල පුඟුල් ප්‍රියශීල සබ්‍රම්සරහු දුරින් බැහැර ලති. මේ ඔහුගේ සප්‍රතිහය යි කියමි. මහණෙනි, සප්‍රතිභය වූ ඒ සීවථිකාව යම්බඳු වේ නම්, මහණෙනි, මෙ පුඟුල් මම එබඳු කොට කියමි.
අපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ හෙතෙම සභාග (තමහට සමාන) පුද්ගලයන් හා සමග වෙසෙයි. මෙ ඔහුගේ ව්‍යාඩ වාසයයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ ව්‍යාඩ අමනුෂ්‍යයනට ආවාස වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
මහණෙනි, ප්‍රියශීල සබ්‍රම්සරහු අපවිත්‍ර වූ කායකර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර වූ වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර වූ මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ තෙල පුඟුල්හු දැක “අපි මෙබඳු පුද්ගලයන් හා සමග වසමෝ නම්, අහෝ ඒකාන්තයෙන් දුකෙකැ” යි වැලපිය යුතු බවට පැමිණෙත්. මේ ඔහුගේ ආරෝදනායයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ බොහෝදෙනාට ආරොදනයට (හඬා වැලපීමට ස්ථාන වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
මහණෙනි, සීවථිකූපම පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසයි.